විදෙස්ගතව සිටිමින් සහ රටේ බන්ධනාගාරය තුළ රැඳෙමින් රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා ලද පොලිස් නිලධාරින් හඳුනා ගැනීමටත්, ඔවුනගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් නියමිත බව වාර්තා වේ.
විමර්ශනයේ කොටසක් ලෙස සැකකාර නිලධාරීන්ගේ දේපොල සහ වත්කම් පිළිබඳව හා ඔවුන්ගේ ආදායම් මාර්ග පිළිබඳ සොයා බැලීමටත් ඔවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂාවට ලක් කිරීමටත් කටයුතු කරනු ඇත.
දූෂිතයන් සෙවීම සඳහා පොලිස් නිලධාරීන් මාර්ගයෙන් සහ එම ප්‍රදේශවල මහජන හා ආරක්ෂක කමිටු මගින් තොරතුරු සෙවීම සඳහා දැනටමත් බුද්ධි අංශ නිලධාරීන් යොදවා රහසිගත පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද මේ සම්බන්ධව වාර්තාවක් සපයන ඩේලි මිරර් දක්වයි.
ඇතැම් නිලධාරීන් වරප්‍රසාද සහ අල්ලස් වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන තම තනතුරුවල බලය අවභාවිතා කරමින් අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබීම මත පදනම්ව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පසුගියදා සිදුවූ සිද්ධියකදී පාතාල කල්ලියක් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගෙන් මාසිකව මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වූ අගලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබිණි.
මෙම නිලධාරියා ඩුබායි සිට ක්‍රියාත්මක වන බව කියන ‘කුඩු අංජු’ සහ ‘ඇල්ටෝ ධර්මේ’ යන පාතාල නායකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් බස්නාහිර සහ දකුණු පළාත් කෙරෙහි විශේෂ අවධානයකින් මෙම විමර්ශන ක්‍රියාත්මක බව ද විමර්ශන වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.