මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර යල කන්නයේ වී වගාව සදහා පැතිරෙමින් පවතින ගොඩවෙල්ලා දළඹුු හානිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මර්දනය කර ඇති බව සඳහන් කළද මේ වනවිට මහවැලි බී කලාපයේ දිඹුලාගල ඇතුළු ප්‍රදේශ රැසක වෙල්යායවල මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමක් වාර්තා වෙමින් ඇත.
මේ වනවිට දිඹුලාගල, පැළෑටියාව, මගුල්දමන, අරලගංවිල, 503 කලාපයේ, සිංහපුර ඇතුළු ප්‍රදේශ රැසක මෙම ගොඩවෙල්ලා දලඹු හානිය නිසා මෙවර යල කන්නයේ වගා කරන ලද පැළ ගොයම, සම්පූර්ණයෙන් විනාශ වෙමින් තිබේ.
මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, ඒකක කළමනාකාරවරුන්, මෙම ගොඩවෙල්ලා දළඹු හානියෙන් වී වගාව බේරා ගන්නා ආකාරය පිළිබඳ තමන් දැනුවත් කළ ද, එම උපදෙස් ප්‍රකාරව අදාල පළිබෝධ නාශක දියර, තෙල්, වගාවට යෙදුවද ප්‍රතිඵල රහිත බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප ලේකම් සරත් රාජපක්ෂ අප හා සඳහන් කළේය,

එම දලඹු විශේෂය මර්දනය කිරීම සඳහා තමන් අවස්ථා තුනකදී මහවැලි නිලධාරීන් ලබාදුන් උපදෙස් අනුව පළිබෝධ නාශක ඇතුලු බෙහෙත් වර්ග වගාව සඳහා යෙදුවද මෙතෙක් තම කුඹුරේ එම දළඹුවා මර්දනය වී නැති බව ඔහු පැවසුවේය.
එමෙන්ම 503 කුඹුරු යායේ ගොඩවෙල්ලා දළඹුවා සීඝ්‍රයෙන් පැතිරී යාම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටි බවද උපලේකම්වරයා කීය,
මහවැලි නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ ගොවිමහතුන් ලියදිවල ජලය ඉවත් කෙරුවද ගොඩවෙල්ලා දළඹුවා ගොයම් ගසේ මුදුනේ සිට මූල දක්වා කා විනාශ කරන බවද ඔහු පැවසුවේය.
දිඹුලාගල මගුල්දමන ගම්මානයෙ පදිංචි ගොවිමහතෙකු වන ගාමිණී වීරසිංහ පැවසුවේ තම කුඹුරේ පැය කීපයක් යන්නට කලියෙන් ගොඩවෙල්ලා දළඹුවා විසින්, ගොයම් ගස් සම්පූර්ණයෙන්ම කා විනාශ කර ඇති බවය.

මහවැලි බී කලාපය පුරා සීග්‍රයෙන් පැතිර යන ගොඩවෙල්ලා දළඹු හානිය තව තවදුරටත් මර්දනය නොකළොත් මහවැලි මෙවර යල කන්නයේ වගා කරන ලද අක්කර 60,000 කට ආසන්න වී වගාවක් විනාශ වීමේ අවදානම පවතින බවද ගොවීහු පෙන්වා දෙති.
අප මේ සම්බන්ධව මහවැලි බී කළාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවිරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ වනවිට මහවැලි බී කලාපයේ සියලු ගොවි සංවිධාන හරහා ගොවීන් ගොඩවෙල්ලාගෙන් වී වගාවට ඇතිවන හානිය පිළිබඳ දැනුවත් කර, ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.
ඇතැම් මහවැලි කොට්ඨාශවල සම්පූර්ණ එම දළඹුවාගේ රෝගය මර්ධදනය කර ගැනීමට ඒ හරහා හැකියාව ලැබී ඇති බවත් ඔහු පැවසුවේය.
මහවැලි සී කලාපයේ පුරා වී වගාවට පැතිරි ගිය ගොඩවෙල්ලා දළඹුවාගේ හානිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහ කෘෂි කෘෂිකර්ම නිලධාරීන් විසින් ගොවින්ට ලබාදුන් උපදෙස් අනුව පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව මහවැලි සී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරි අප කළ විමසීමකදී සඳහන් කළේය,







