ස්ත්‍රී දූෂණයකට අදාල චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලිස් අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය පිළිබඳව සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කිස් සිල්වර් වුඩ් සහ දසුන් ශානක කැඳවා තිබේ.
ඒ විශේෂ ප්‍රකාශ ලබා දීම සඳහාය.
එම ත්‍රිපුද්ගල කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂන පෙරේරා සහ නීතිඥ අසේල රැකව යන අයගෙන් සමන්විතය
එමෙන්ම ධනුෂ්ක ගුණතිලක සම්බන්ධව හැකි සෑම ආකාරයකම සහාය ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මාධ‍්‍ය අමතමින් මෙසේ ඒ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරය මාධ්‍යයට පැහැදිලි කළේය.
“ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සියලු පාර්ශවයන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. මේ ප්‍රශ්නයට කොහොමද අමාත්‍යාංශයක් හැටියට මුහුණ දෙන්නේ කියන එක ගැන එහිදී සාකච්ඡා කෙරුණා. “
“ඉතින් අපි දන්නවා ධනුෂ්ක ගුණතිලක ගියේ ශ්‍රී ලංකා ධජය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. තාම ඔහු සැකකරුවෙක් පමණයි. එක නිසා අපි තීරණය කරලා තියෙනවා පුළුවන් තරම් එයාට මේ අවස්ථාවේදී නීතිඥ සහායක් ලබාදෙන්න කියලා. ඒකට අපි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමග සාකච්ඡා කරලා ඒ නීති ආවරණය දෙන්න තමයි අපි මේ වෙලාවේ කටයුතු කරගෙන යන්නේ. “
“එකක් කියන්න ඕන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට… අපි මේ වෙලාවේ රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දිත් මුදල් දුන්නාම ප්‍රථම වගකීම තමයි රට වෙනුවෙන් ක්‍රීඩාවේ නියැලීම. ගියපු ප්‍රථම කාර්යය අපි හොඳට ඉටුකරන්න උත්සාහ ගන්න ඕන. විශේෂයෙන් ම විනය, ඉවසීම, ක්‍රීඩාශීලීත්වය අපි ආරක්ෂා කරගන්න ඕන. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ විදියේ වැරදි ඉදිරියේදී සිදුනොවෙන්න වගබලා ගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. ”
“තාරුණ්‍යයේ පසුවන අය සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේවල්වලට යොමුවනවා. නමුත් ඒගොල්ලෝ ඒවායේ බරපතළකම දන්නෙත් නෑ. මොකද ලංකාව නියෝජනය කරන්න ගිහිල්ල එහෙම වෙච්ච එක තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. අපි සියලුම ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටිනවා රටේ කීර්තිනාමය ආරක්ෂා කරගන්න… මොකද මේ වෙලාවේ රටට කීර්තිය අවශ්‍යම වෙලාවක්. ”
“අපිට දැන් විවිධාකාර ආරංචිමාර්ග ලැබෙමින් පවතිනවා ඔස්ට්‍රේලියාවේ වෙච්ච දේවල් ගැන, අපි ඒ ගැන විමර්ශනය කරනවා. ලංකාවේ ප්‍රශ්නයක් වුනාම විවිධාකාර පැමිණිලි ලැබෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයා රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන ක්‍රීඩකයෙක් නිසා අපි මුලින්ම ආවරණය දීලා ඊට පස්සේ අනිත් දේවල් බලාගමු කියන එකයි.”
දෙරණ –







