පළාත් පාලන ඡන්දය ලබන මාර්තු 20වැනිදාට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඩලස් අලහප්පෙරුම, ජී.ඇල් පීරිස් ඇතුළු නිදහස් ජනතා සභාවේ සාමාජික පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා අද ( 12) පෙරවරුවේ හමුවූ අවස්ථාවේ දීය.
කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ පසුගිය මාර්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවුරුද්දක් කල් ලබාගත් බවත් ලබන මාර්තුව වනවිට අවුරුද්ද සම්පූර්ණ වන බවත්ය.
මේ වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන මැතිවරණය නිවේදනය කිරීමේ බලය කොමිෂන් සභාවට තිබුණත් හදිසි මැතිවරණයක් නොකැඳවන්නේ එසේ වුවහොත් පසුගිය ඡන්ද හිමි නාමලේඛණය මත පදනම්ව කටයුතු කරන්නට සිදුවන නිසා බවය. එවිට තරුණ ඡන්ද දෙලක්ෂ පනස් දහසක් පමණ මග හැරෙන නිසා ඡන්ද හිමි නාමළේඛනය යාවත්කාලීන කරගෙන ලබන මාර්තුවට ප්‍රථම ඡන්දය පැවැත්වීමට අනිවාර්යයෙන් කටයුතු කරන බව ඔහු පැවසුවේය.
මැතිවරණ කල් දැමීමට කොමිසම එකඟ නොවන බව පැවසූ සභාපතිවරයා අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් යටතේ බවත් මහජන නියෝජිතයන් සිටිය යුතු තැන්වලට නිලධාරීන් යොදවා පාලනය කිරීමට කොමිෂන් සභාව එකඟ නැති බවත්ය.
ඔහු කීවේ පළාත් සභා අතුරුදන් වී නැති නමුත් ඒවා අතුරුදන් කර ඇති බවය.