-
පොදු දේපල පනත යටතේ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමටත් නඩු දාලා… පුද්ගලයෙකුට මිස ආයතනයකට පොදු දේපල පනතින් නඩු දාන්න බැරි නිසා නඩුව අහක ගිහින්…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු පළමුවන බැදුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති පොදු දේපළ පණත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල එම චෝදනා වලින් විත්තිකරුවන් 10 දෙනා නිදහස් කිරීමට ඊයේ (11) නියෝග කර ඇත.
චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදි මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවක් ලෙස මෙය ප්‍රකාශයට පත්විනි.
2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් කිරීම ඇතුලු අධිචෝදනා 23 ක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකරුවන් ලෙස නම් කර තිබුණේ අර්ජුන මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුලුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්ධිය පුංචිහේවා ය.
නඩුවේ විත්තිකරුවකු ලෙස පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම ද නම් කර ඇති බවත්, භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකට පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන අධිකරණයට මූලික විරෝධතාවයක් ගොනු කරනු ලැබුවේය.
මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් බහුතරයක් ද, එකී සමාගමේ අධ්‍යක්ෂවරුන් වන බැවින් ඔවුනට එරෙහිව ද එකී චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති පාර්ශවය විරෝධතා ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත් පොදු දේපළ පනත යටතේ නැගෙන චෝදනා සම්බන්ධයෙන් නිදහස් කළද සෙසු චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට විනිසුරු මඬුල්ල දින නියම කර ඇත.
මෙම නඩුව විභාග වන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිවය.
.







