සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් එම තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණය සම්බන්ධව අද හෝ හෙට දෙපාර්ශ්වය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අය ඉවත් කිරීම සම්බන්ධව ගෙන තිබෙන තීරණය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වෙත ලිපියක් එවා තිබෙන අතර මේ පිළිබඳව ලංකාසර කළ විමසුමකදී එජාප ප්‍රකාශකයෙක් කියා සිටියේ අද හෝ හෙට (25-26) එම සාකච්ඡා පැවැත්වීමට ඉඩ තිබෙන බවයි.
කෙසේවෙතත් පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් ඉවත්කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණය මේ සතිය තුල තීරණය කර ගැනීමට නොහැකි වුනොත් ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලංකාසරට පැවසීය.
නඩු පැවරීමට අවශ්‍ය නීති උපදෙස් මේ වනවිටත් ලබාගෙන තිබෙන බවත් එලෙස නීතිමය ක්‍රියාමාර්ගවලට යෑමට පෙර මෙම අර්බුදය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උපරිම උත්සාහ ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කීය.