හොඳටම වහින්නට කියනවා මිසක් කියන්නට දෙයක් ඉතිරි වී තිබුණේ නැත. ඒත් වැස්ස පෑව්වේය. අප හිතන්නේ මේ තරගය අප පැරදුනොත් එයි තනිකරම වගකීම ගන්නට ඕනෑ නායක කුසල් මෙණ්ඩිස් ඇතුළු කණ්ඩායම නොව වැස්සය. දැන් ඕස්ට්‍රෙලියානු ඉනිම ඇරඹී ඇත.
කොහොම හරි ගහනවා කීවාට කුසල් මෙණ්ඩිස් කියන්නට ඇත්තේ අහවල් ගැහැල්ලක් දැයි පැහැදිලි කරගත යුත්තේ ඔහුගෙන්මය.
පන්දු ඕවර 43.3ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 206කට සියල්ලන්ම දැවී ගොස්ය.
කුසල් ජනිත් සහ පැතුම් නිශ්ශංක මනරම් ආරම්භයක් ලබා දුන් විට අප හිතුවේ ලකුනු 300 සීමාව ඉක්මවනු ඇතැයි කියාය. කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදීම තෝරන විට එවැනි බලාපොරොත්තුවක් ඇති වී තිබිණි.
පළමු කඩුල්ලට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක රැස් කර ලකුණු 125ක සම්බන්ධතාවයක් ගොඩනගනවිට අප සිටියේ බලාපොරොත්තු සහගතවය.
එහෙත් ඉන්පසු ලකුණු 81ක් තුළ කණ්ඩායමම දැවී ගොස්ය. පැතුම් නිශ්ශංකගේ ලකුණු 61, කුසල් ජනිත්ගේ ලකුණු 78 ස චරිත් අසලංකගේ ලකුණු 25 හැරුණු විට අනික් එකෙක්වත් ලකුණු 10 සීමාව පසු කළේ නැත.