ඉදුනිල් කහටපිටිය –
වියලි කාලගුණයෙන් සහ ජලය හිඟවීමෙන් යල කන්නයේ අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ එකකට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව ට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.
යල කන්නයේ වී වගා කළ භූමි ප්‍රමාණයෙන් අක්කර හැට දහසකට වැඩි ප්‍රමාණයක් හෙවත් හෙක්ටයාර විසි හතර දහසක් පමණ ජලය නොමැතිව විනාශ වූ බවද හෙතෙම කීය.
වසර 2022- 2023 මහා කන්නයෙන් ඉතා හොඳ වී අස්වනු අපේක්ෂා කළද කලට වේලාවට අවශ්‍ය පොහොර ගොවීන්ට ලබාදීමට අපොහොසත් වූ බැවින් අපේක්ෂිත අස්වැන්නෙන් සියයට පහළොවක් පමණ අහිමි වූ බව ද පැවසූ මහාචාර්යවරයා තවමත් වසර 2021 ට පෙර තිබූ තත්ත්වයට වී අස්වනු ලබාගැනීමට අපොහොසත් වී ඇති යි ද පැවසීය.
මෙම වසර එල්නිනෝ වසරක් වන බැවින් ඉදිරි ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී සංවහන වැසි ද දෙසැම්බර් මාසයේ ඊසානදිග මෝසම් වැසි ද ජනවාරි පෙබරවාරි මාසවල ඊසාන දිග මෝසම් වියළි කාලගුණික තත්ත්වය ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ගොවීන් වැඩි අවධානයක් යොමුකොට ඉදිරි මහ කන්නය කලට වේලාවට බිම් සකස් කොට වගා කිරීමට කටයුතු කරන ලෙස අවධාරණය කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.