ජානක ලියනආරච්චි –
දැන් මෙය කියවන ඔබ සිනාසිය යුතු ද විලාප දී හැඬිය යුතුදැයි තීරණය කළ යුතුය. රටේ මහා ව්‍යසනයක් සිදුකර උත්තරීතර බුදු දහමේ හරය විනාශ කළ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් පසු අධිකරණය ඉදිරියේ වසර කීපයක් රස්තියාදුකිරීමෙන් අනතුරුව ප්‍රහසන රංගන ශිල්පී නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීම ගැන ශ්‍රි ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණය ඉදිරියේ ලිඛිතව කණගාටුව පළ කර තිබේ.
දැන් ඔබ කල්පනා කළ යුත්තේ දේශපාලන රූකඩ ලෙස හැසිරෙන වෘත්තීය භාවය ගණිකා වෘත්තියේ යෙදවූ කඩමාළු පොලිස් කාරයින් හෙට ඔබටත් සිදුකළ හැක්කේ මෙවැනි ව්‍යසනයක් බවය. අවසානයේ දී අධිකරණය ඉදිරියේ ලිඛිතව කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පසු වැඩේ ඈවරය.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන නිදහස සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 19 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී වාර්තා වූ මෙම සිදුවීම අතිශය තීරණාත්මක එකක් වනුයේ එය පුද්ගලික සමාව ගැනීමකට ලඝු නොවී රටේ ජන ජීවිතයේ පැවැත්ම තීන්දු කරන පද්ධතියේ ඇති දෝෂ සහිත බව පිළිගැනීමක්වන බැවිනි.
නීතිය වැරදි ලෙස භාවිත කිරීමේ භයානක ප්‍රවණතාව
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත මෙරට ස්ථාපිත කරන ලද්දේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අභිලාෂයෙනි. නතාෂා එදිරිසූරියගේ අත් අඩංගුවට පත් වන්නේ මෙම නීතිය යටතේය. ඇත්ත වශයෙන්ම රට තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික නෛතික අවශ්‍යතාවය කුමක් දැයි මේ සාකච්ඡාවට පෙර අප අවබෝධ කරගත යුතුය.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමේ මූලික අරමුණ වූයේ, බහු-වාර්ගික සහ බහු-ආගමික සමාජයක් තුළ ජාතික, ආගමික හෝ වාර්ගික වෛරය පැතිරවීම මගින් සිදුවිය හැකි මහා පරිමාණ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමය.
විශේෂයෙන්ම යම් ප්‍රකාශයක් මගින් සන්නද්ධ ගැටුමකට, වෙනස් කොට සැලකීමට හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට සෘජුවම අනුබල දෙන අවස්ථාවලදී සාමාන්‍ය වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මෙවැනි දැඩි නීතිමය ප්‍රතිපාදනයක අවශ්‍යතාවය සමාජයක ලෙස පවත්වාගත යුතු බවට තර්කයක් නැත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම නීතියේ පරමාර්ථය වන්නේ සුළුතර ජනකොටස්වල ආරක්ෂාව සැලසීම සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සාමය පවත්වාගෙන යාම මිස, සමාජ විවේචනයක්, උපහාසයක් හෝ නිර්මාණාත්මක ප්‍රකාශනයක් තමන්ගේ මොළයේ ප්‍රමාණයට රිදවීමක් කළ පමණින් එය මර්ධනය කිරීමට නොවේ.
එහෙත් සිදුවූයේ කිසිසේත්ම රටක් තුළ සිදු නොවිය යුතු කුපාඩිකමකි. ඊට හේතු ගණනාවක් තිබේ. නතාෂා එදිරිසූරිය වැනි ගැඹුරකින් තොර හාස්‍ය නිර්මාණය කිරීමට උත්සාහ කරන ශිල්පීන්ට සමාජය තුළ ඇති කළ හැකි කථිකාවක ප්‍රමාණයක් තිබේ. අඩුම තරමින් ඒ බරකින් බුදුදහමට අපහාස කළා නම් එය වෙනම සංවාදයට ලක් විය යුතු කතාවකි. ඊට පෙර බුදු දහම යනු කුමක් දැයි නතාෂාව නිතියට ඉදිරියට පැමිණිය යුතු බවට තීන්දු ගත් බෞද්ධයන් යැයි කියාගන්නා පිරිස අවබෝධ කරගත යුතුව ඇත.
බුදුදහම යනු ප්‍රශ්න කිරීම් සහ විචාර බුද්ධිය මත පදනම් වූ දර්ශනයකි. පසුකාලීන සාහිත්‍යකරුවන් විසින් බුද්ධ චරිතය වටා ගෙතූ භක්තිමය හා අද්භූතජනක සිදුවීම් බුදු දහම යැයි සිතා සිටිනා කණ්ඩායමට නතාෂා එදිරිසූරියගේ ලාමක විහිළු හෙණ පහර සේ පතිති වී තිබීම සම්බන්ධව බුද්ධිමත් මිනිස්සු එදා සිට මවිත වූහ. ඇය සිය ප්‍රහසනයේ ළාමක කතාව කරගෙන යද්දී බුදු දහමේ අතාර්කික සාහිත්‍යමය ප්‍රබන්ධවල සිදුවීම් ඊට ඈඳා ගත්තාය. අඩුම තරමින් සුද්ධෝදනගේ පුත්‍රයා බුදු වී මහා දාර්ශනික සම්ප්‍රදායක් ලෝකයට දේශනා කර පිරිනිවන් පෑ බව හෝ මතකයට නගා ගැනීමට මේ නඩු නිමිත්ත ගොනු කළ පිරිසට නොහැකි විය. මේ සමස්ථ ක්‍රියාවලියේම ඇති ප්‍රහසනය වන්නේ දාර්ශනික බුදුන් වහන්සේ ප්‍රායෝගික මිනිසෙකු ලෙස දුටු සත්‍යය සහ සාහිත්‍යය මගින් නිර්මාණය කළ “දේවත්වයට” ආරෝපණය කළ බුදුන් අතර වෙනස වටහා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතන අපොහොසත් වීමය. එය නිකම් ප්‍රහසනයක් නොව මාරාන්තික ප්‍රහසනයක් බව ලියා තැබිය යුතුය.
චීවරයේ එල්ලී දේශපාලනය කරන්නට යන නිඝන්ඨ අනුගාමිකයින් මෙන්ම චීවර ධාරී නිඝන්ටයින් ද තේරුම්ගත යුතු ඇත්තක් තිබේ. බුදුදහම මූලධර්මවාදී ආගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමට අංශු මාත්‍රයක විධානයක් ලබා දී නැති බවය. බුදු දහමේ තහනම් කළ “දේව වාක්‍යයන්” නැති බවය.
“රන්කරුවෙකු රන් උරගා බලන්නාක් මෙන් මාගේ දහම ද විමසා බලා පිළිගන්න”. බුදුන් වහන්සේ වදාලේ එසේය.
උන් වහන්සේගේ නිදහස් චින්තනයට, එරෙහි වන්නේ චීවරධාරී නිඝන්ඨයින් සහ උන්ගේ දේශපාලන අභිමතය හමුවේ වක ගැසෙන නීතිය බව කිව යුතුව ඇත. විවෘත මනසකින් ජන ජීවිතය පිරික්සීමට ඉඩ දෙනවා වෙනුවට, ආගමික ලේබලයක් යටතේ ඕනෑම විවේචනයක් වෛරී ප්‍රකාශයක් ලෙස හංවඩු ගැසීම බුදුදහමේ මූලික ඉගැන්වීම්වලටම පටහැනිය. නතාෂා එදිරිසූරියගේ සිනා නොයන විහිළුවලට අනවශ්‍ය බරක් දී අධිකරණය දක්වා ඇදගෙන ගියේ මේ මන්ද බුද්ධික ගොබ්බයන්ය. උන්ට අවශ්‍ය ලෙස නීතිය නැමූ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සිටියේ නිල ඇඳුමෙන් අමුඩය ගසාගෙන දැයි දැන් අප ප්‍රශ්න කළ යුතුව ඇත.
නතාෂා අත් අඩංගුවට ගැනිමෙන් පසු
වර්ෂ 2023 මැයි 27 වන දින නතාෂා එදිරිසූරිය විදේශ ගමනක් සඳහා සූදානම් කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ දී ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත් වූවාය. ඇයට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත යටතේ ආගමික වෛරය පැතිරවීම සහ මහජන කැළඹීමක් ඇති කිරීමය.
කිසිදු පූර්ව විමර්ශනයකින් තොරව, එක්තරා පාර්ශවයක් විසින් කුළු ගැන්වූ සමාජ මාධ්‍ය උද්ඝෝෂණයක් මත පදනම්ව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල පවා අවධානයට ලක් විය.
පසුව මහාධිකරණය විසින් ඇයට ඇප ලබා දෙමින් අවධාරණය කළේ, යම් ප්‍රකාශයකින් ආගමික හැඟීම් රිදවීම සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම යනු එකිනෙකට වෙනස් කරුණු දෙකක් බවත්, නතාෂාගේ ප්‍රකාශය තුළින් ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමක් සිදු වී නොමැති බවත්ය.
ආගමික හැඟීම් “රිදවීම” යන්න ඉතා පුළුල් පරාසයක අර්ථකථනය කළ හැකි බැවින්, එය විවේචනාත්මක හඬවල් මර්දනය කිරීමට අවභාවිත කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවවලට දැඩි චෝදනා එල්ල වන්නේ ඉන් අනතුරුවය.
“කණගාටුව” ප්‍රමාණවත්ද?
වසර ගණනකට පසුව අද රජයේ නීතිඥවරයා පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නතාෂා අත් අඩංගුවට ගැනීම සම්බන්ධව ඉදිරිපත් කළ “පසුතැවිලි වීමේ ලිපිය” අධිකරණයට භාර දුන්නේය. දැන් පුරවැසියන් ලෙස අපට කියවෙන්නේ එය අම්මට සිරි වෙන කණගාටුව ප්‍රකාශ කිරීමක් බවය.
සිද්ධිය වූ නතාෂා ගැන කල්පනා කරමු. ඇය අත් අඩංගුවට පත් වුනාය. මහා දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් හරහා අධිකරණයට ඉදිරිපත් කර දින ගණනක් රක්ෂිත බන්ධනාගාරගත කළාය. අවසානයේ අධිකරණය තීන්දු කළේ ඇය උක්ත නීතිය යටතේ වරදක් සිදුකර නොමැති බවය.
අත්අඩංගුවට ගැනීම නිසා අදාළ තැනැත්තා විඳි මානසික පීඩනය සහ සමාජයීය අපකීර්තිය “කණගාටුවීමකින්” පමණක් පියවා දීමේ පොලිස් ආදර්ශයට එරෙහිව සමාජය තුළ කථිකාවක් මතු නොවුනහොත් හෙට ඔවුන් සොරි කියනු ඇත්තේ ඔබට හෝ ඔබේ දරුවාට බව ලියා තබමු.
කෙසේ වෙතත් මේ සිදුවීමෙන් සමාජයට අත්වූ ප්‍රතිලාභයක් ඇත. එනම් මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියේ පැවති බරපතල හිඩැසක් හඳුනා ගැනීමට අධිකරණයට හැකි වීමය. ඒ අනුව, මින් ඉදිරියට ICCPR පනත යටතේ කිසිදු පුරවැසියෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. මෙම නව මාර්ගෝපදේශවලට අනුව, යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට පෙර, එමගින් සැබවින්ම ප්‍රචණ්ඩත්වයක් උසිගැන්වීමක් සිදුවී ඇත්දැයි විද්‍යාත්මකව සහ නීතිමය වශයෙන් තහවුරු කර ගැනීම අනිවාර්ය වේ. හුදෙක් ආගමික හැඟීම් රිදවූ බවට කෙරෙන පැමිණිලි මත පමණක් පදනම්ව පුද්ගල නිදහස අහිමි කිරීමට පොලිසියට තිබූ අවකාශය මින් ඉදිරියට ඇහිරී යනු ඇත. මෙය අනෙක් අතට පුරවැසියා ලද “නීතිමය රක්ෂණයක්” බඳුය.
මෙම පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ ප්‍රතිචාරය, පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් තැබූ විශ්වාසනීය පියවරක් ලෙස ඉතිහාසගත වනු ඇත. යළිත් වරක් පොලිසියෙන් ඉල්ලා සිටින්නේ ඔය ගෞරවණීය නිල ඇඳුමින් අමුඩ ගසාගෙන දේශපාලන රංගනවල පිංගුත්තරයන්ට ඇඳගැනීමෙන් වලකින ලෙසය.







