කීර්ති ප්‍රනාන්දු –
වාහන පර්මිට් එකකට, ගොඩනැගිල්ලකට, ඉඩම් කැබැල්ලකට ආත්මය පාවා දීමට තමන් සූදානම් නැති බවත්, අගරදගුරු නිලය ලැබු පමණින් පාලකයන්ගේ අවශ්‍යතා මත හැසිරෙන්නට අගරදගුරු වරයෙකුට නොහැකි බවත් අගරදගුර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කතෝලික සභාව වශයෙන් තමන් හැමදාම පෙනී සිටින්නේ අසරණ පීඩිත මිනිස්සුන්ගේ යුක්තිය සහ සාධාරණ වෙනුවෙන් බවත් උන්වහන්සේ කීහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (04) බොරැල්ල කතෝලික මුද්‍රණාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.
එහිදී එතුමො මෙසේද පැවසූහ.
අප අතර අද ඉන්නේ පොදු ප්‍රශ්න ගණනාවකින් පීඩාවට පත් වුණු සමාජයක්. එක් පැත්තකින් ළමයින්ට ඉස්කෝල නෑ. ඔවුන් අවුරුද්දක් හමාරක් ගෙදර. ඔවුන්ගේ සමාජීය සබඳතා මානසික ශඛ්‍යතා බිඳවැටිලා. මේ ප්රශ්නය විසඳාගන්න අවශ්‍ය නම් ඕන තරම් ක්‍රම තියනවා. ඇතිවෙලා තියන සමහර ප්‍රශ්නවලට විසඳුම සල්ලි නම් නාස්ති කරන සල්ලිවලින් ඒ ප්‍රශ්න විසඳන්න පුලුවන්. මේ කඹ ඇදිල්ලට දෙමව්පියන් සහ දරුවන් අසුවෙලා.
අනීතික දූෂණ
අද රට තුළ බිහිවෙලා තියෙන්නෙ ඉතාම දූෂිත පාලනයක්. මෙය අවුරුදු හැත්තෑවක් තිස්සෙ ඇදී එන පාලන ක්රමවේදයක ප්‍රතිඵලයක්. නීතිය තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන මේ ක්‍රමය තුළ සාධාරණයක් යුක්තියක් සාමාන්‍ය ජනතාවට බලාපොරොත්තු වෙන්න බෑ. නිදහසින් පස්සේ ආපු හැම රජයක්ම මේ විදිහට නීතිය අවනීතිය කරන එක දිගටම කරගෙන ගියා.
බලවතුන්ට ධනවතුන්ට නීතිය හරවන්න පුලුවන් තමන්ට අවශ්‍ය විදිහට. මේ වනවිට සාමාන්‍ය මිනිහෙකුට සාධාරණය ඉටු කරගන්න ක්‍රමවේදයක් තියනවද කියා විශ්වාස කරන්නත් බැරි තැනට සමාජය පත්වෙලා. සමාජයේ පැතිරෙන දරිද්‍රතාවය, දිළිඳුකම, බඩගින්න, අතරෙත් දුප්පතුන්ගෙ බඩට ගහන මාෆියා බිහිවෙනවා. සමාජය වසා පැතිරෙන දූෂණය පාලනය කරගන්න කිසිම කෙනෙකුට බැරිවෙන මට්ටමක් ඇතිවෙලා.
පාස්කු ප්‍රහාරය
ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරගන්න බැරි තත්වයක අපි ඉන්නෙ. දේශපාලන බලපෑම්, දේශපාලන වාසි, දේශපාලන ඕන එපාකම් නිසා යුක්තිය ඉෂ්ට වෙන්නෙ නෑ. සිද්ධියේ යථාර්ථය කාපට් එක යටට දාන තත්වයක් ඇති බව මා අදත් කියනවා.
අප කටයුතු කරන්නෙ ලැබෙන ලාභ ප්‍රයෝජන, තනතුරු වරප්‍රසාද අපේක්ෂාවෙන් නෙමෙයි. එහෙත් අවාසනාවට සමහරු සුලු සුලු ලාභ ප්රයෝජනවල වාසියට තමන්ගේ ආත්මය පවාදීලා තියනවා. අගරදගුරු නිලය ලැබුණා කියලා අගරදගුරු කෙනෙකුට බැහැ එහෙම කරන්න. අපට ලැබෙන වාහන පර්මිට් එකක්, ගොඩනැගිල්ලක් හදාගන්න උදව්වක්, ඉඩම් කෑල්ලක් වගේ දේකට ආත්මය පාවා දෙන්න අපට බෑ.
කතෝලික සභාව වශයෙන් අපි ඉන්න ඕන පාලකයන්ගෙ බලවතුන්ගෙ පැත්තෙ නෙමෙයි. දිළිඳු, අසරණ පීඩිත මිනිස්සුන්ගෙ පැත්තේ. අප අදත් හෙටත් ඉන්නෙ එහෙමයි. අපි අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. යුක්තිය සත්‍යය වෙනුවෙන් පෙනී ඉන්න ඕන.“
කාදිනල් තුමෝ කීහ.