බ්‍රිතාන්‍යයේ මේ දිනවල පවතින බර වාහන රියැදුරු හිඟය පිරවීම වෙනුවෙන් මෙරට රියදුරන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් මෙරට රජය වෙත මෙතෙක් කර නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන (ජාත්‍යන්තර කටයුතු) අතිරේක සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා පවසයි.
එවැනි හිඟයක් පවතින බවට දැනුම් දීමක් පමණක් එරටින් මෙරට රජය වෙත දන්වා තිබෙන බව ද රන්දෙණිය මහතා අවධාරණය කළේය.
එරට ලොරි රථ රියැදුරන්ගේ හිඟයක් පවතින බවට මේ දිනවල මෙරට ජනතාවගේ දැඩි කතාබහට හේතුවී ඇත්තේ එම පුරප්පාඩු වෙත අයදුම් කොට බ්‍රිතාන්‍යය බලා යාමට ජනතාව තුළ උනන්දුවක් ඇතිකරමිනි.
කෙසේවෙතත් නිල වශයෙන් පවතින සැබෑ තත්ත්වය මෙලෙස වුවද මෙම පුවත්වලින් ඇතැම් පුද්ගලයින් වංචනික ලෙස මෙරටින් එරටට යවන බව පවසා මුදල් ගැරීමේ ජාවාරම් පැවතිය හැකි බැවින් ඊට හසු නොවන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.
වෙනත් රටවලින් බ්‍රිතාන්‍ය තුළ බර වාහන රියැදුරන් ලෙස කටයුතු කළ බොහෝ පුද්ගලයන් කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට වසා දැමීමේ ක්‍රිියාමාර්ග ආදියද සමගින් තම රටවලට ගොස් යළි නෑවිත් සිටීම හා තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එරට තුළ බර වාහන රියැදුරන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අසාමාන්‍ය ලෙස පුරප්පාඩු ඇතිවී තිබේ.
ඇස්තමේන්තු කර ඇති පරිදි රියැදුරන්ගේ හිඟය 100,000 ක් පමණ වන අතර එය කෝවිඩ් -19 වසංගතය මෙන්ම එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම නිසා උග්‍ර විය.
මේ හේතුවෙන් එරට ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ සැපයුම් නිසියාකාරව සිදුකිරීමට නොහැකි බැවිනි. ආහාර හා ඉන්ධන සැපයුම් දාමයන්හි බාධා කිරීම්වලට බරපතළ ලෙස මුහුණ දී සිටී.
මේ බව පුවත් පළවීමත් සමඟ විදේශගතවීමට අවශ්‍යව සිටින බොහෝ රියැදුරන් ඒ සඳහා උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබේ.
මෙම පුරප්පාඩු සඳහා උනන්දුවක් දක්වන අය අතර ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු අප්‍රිකාව සහ නයිජීරියාව වැනි රියදුරන් ද සිටින බවට එරට වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඇත්ත වශයෙන්ම සිදු කළ පර්යේෂණයෙන් අනතුරු ඇඟවෙන්නේ, යුරෝපා සංගම්යේ රටවල නොවන රියදුරන්ට වහාම වැඩ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් තිබීම අඩු බවයි.
යුරෝපා සංගමයේ පුරවැසියන් වන රියදුරන් මේ සඳහා පොළඹවා ගැනීමට බලාපොරොත්තු වන එක්සත් රාජධානියේ රජයේ හදිසි වීසා බලපත්‍ර යෝජනා ක්‍රමයේ කාලය දීර්ඝ කර තිබේ.