මනම්පිටිය නිමල් ජයරත්න
පොලොන්නරුව වැලිකන්ද පොලිසියේ උප පොලිස් කොස්තාපල්වරයෙකු, හා පොලිස් සැරයන්වරයකු විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිස් පොතේ සටහන් කර තිබූ එළ හරක් හත් දෙනෙක් ප්‍රවාහනය කළ ලොරියක් හරකුන් සමගම නිදහස් කරන ලෙස උතුරු මැද පළාතේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගෙන් ලැබූ නියෝගයක් මත පසුගිය 18 වැනිදා නිදහස් කිරීමට පොලිස් පොඩ්ඩන්ට සිදුවූ පුවතක් වැලිකන්දෙන් වාර්තා වේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
ප්‍රවාහන බලපත් නොමැතිව, සත්ව හිංසාව ඇතිවන පරිදි එළගවපැටියෙකු ඇතුළු එලගවයින් හත්දෙනෙකු වැලිකන්ද වඩමුනේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් වඩමුනේ පාලම අසලදී ඉකුත් 17 වෙනිදා සවස පොලිස් නිලධාරීන් දෙපළක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි,
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන නාවල්අඩි අංක 463 /04 ලිපිනයේ පදිංචිව සිටින විසිතුන් වියැති පුද්ගලයෙකි.
නීති විරෝධී අයුරින් ගවයින් ප්‍රවාහනය කරන පිරිස් සඳහා අකුරට රාජකාරිය කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ගවයින් හත් දෙනාත්, ප්‍රවාහනය කළ සැකකරු සහ ලොරියත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබියදී උතුරු මැද පළාතේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වැලිකන්ද පොලිසියට කතා කර ඇත. කතා කර පවසා ඇත්තේ මේ චූදිතයා බඩුත් සමගම නිදහස් කරන ලෙසය.
අප මෙම චෝදනාව පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථානයෙ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, එල්.ජේ,එච්,එම්,ඩබ්ලිව්.ඩී. හේරත්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, එම සැකකරුට වඩමුනේ හා වාලච්චේන ගවගාල් දෙකක් තිබෙන බවත්, වඩමුනෙ ගවගාලේ ගවයින්ට තණකොළ සහ ජලහිඟය නිසා ලෙඩවු ගවයින් හයදෙනකු ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය නොදැන අත්අඩංගුවට ගෙන තිබෙන බවත්ය.
අනතුරුව ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, එය ඩී.අයි.ජී. මහතාගේ උපදෙස් අනුව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව ද ඒ අනුව එම ලොරිය, ගවයින් හා රියදුරු, නිදහස් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසුවේය,
මෙම සිද්ධිය පිළිබඳව අප වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෙඩ ගවයින් හත්දෙනකු බවත්, එය ජාවාරමකට රැගෙන ගිය එකක් නොවන බවත්ය.
අදාල ගවගාලේ ගවයින් දාහකට වැඩි ප්‍රමාණයක් සිටින බවත් පවතින ආහාර සහ අර්බුදය නිසා රෝගී ගවයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යන අතරේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් ගවයින් නිදහස් කිරීමට ඩී.අයි.ජී මහතා උපදෙස් ලබාදුන්නේ සද්භාවයෙන්ම ගත් තීරණයක් නිසා බවයි.