ඒ.ජේ.අබේනායක –
ගාලුමුවදොර සිට අලුත්කඩේ නීතිඥ සංකීර්ණය දෙසට ගිය විරෝධතා පාගමනක් නතර කරමින් අයුතු අවහිරයක් සිදු කළා යැයි සැක කරන සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළේය
මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේ දී ය.
මෙම පැමිණිල්ලෙන් චූදිතයන් ලෙස නම් කර ඇති පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 330 සහ ජාතික මංමාවත් පනතේ 59.1 යටතේ ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට සෑහීමකට පත්විය හැකි කරුණු ඇති හෙයින් පිස්කල් හා ලියාපදිංචි තැපෑල මාර්ගයෙන් සිතාසි භාර දෙන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කළේය.
පැමිණිලිකරු වන තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහියත්තගේ සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දැක්වීය.
ඔක්තෝබර් මස 9 වැනිදා පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයන් සහ ප්රජාතන්ත්රවාදය අගය කරන පිරිස් විරෝධතාවක් සූදානම් කර තිබූ බවත්, විරෝධතා පාගමන සහ එම විරෝධතා ගාලුමුවදොරින් 10 වැනිදා සවස 3 ට ආරම්භ වන බවට පැමිණිලිකරු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පෙර දින රාත්රියේදී ඊමේල් මගින් සහ වට්ස් ඇප් මගින් දැනුම් දී ඇති බවත්, එම ඊමේල් පණිවිඩය එම අවස්ථාවේදී ම පොලිස්පතිවරයාට ද පිටපත් කර ඇති බවත් අධිකරණයේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේය.
පැමිණිලිකරු ඇතුළු 50ක 100ක පමණ පිරිසක් සාමකාමීව පැවැත්වූ මෙම පාගමන පොලිසිය මාර්ගය වසා අවහිර කළ බවත්, පාගමන පදික වේදිකාව ඔස්සේ සාමකාමීව ඉදිරියට යද්දී පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමූ බවත් කී සාලිය පීරිස් ඊට අදාළ වීඩියෝ දර්ශන ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.
පළමු සහ දෙවැනි චූදිතයන් වන පොලිස් නිලධාරීන් දෙදෙනා මෙම අවහිර කිරීමට එම ස්ථානයේ සිටිමින් සක්‍රීයව දායක වූ බවත්, මෙම පාගමන සම්බන්ධයෙන් පැය 06කට පෙර දැනුම් දී නැතැයි කියමින් එම අවහිරය කළ ද පැය 06කට පෙර දැනුම් දුන් බවට පැමිණිලිකරු ප්‍රකාශ කරද්දී එය ගණන් නොගෙන නිලධාරීන් හැසිරුණු බවත්, ඔවුන් අයුතු අවහිරයක් කළේ සද්භාවයෙන් නොවන බව එම ස්ථානයේ ඔවුන්ගේ හැසිරීම බැලූ විට තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.
එදින විරෝධතාව ගැන පොලිසිය දැනුවත් කර තිබියදී සහ විරෝධතාව නතර කිරීමට පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබියදීම මෙම නිලධාරීන් දෙදෙනා මෙම වැරදි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බවත් සාලිය පීරිස් මහතා සඳහන් කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා චූදිතයන් ලෙස නම් කළ නිලධාරීන් දෙනාට ලබන 08 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය.
දිවයින-







