සුදුසු දුම්රියක් නොතිබීම හේතුවෙන් මාස තුනක් තිස්සේ නවත්වා දමා තිබූ මාතලේ මහනුවර දුම්රිය ගමන් වාර යළි ආරම්භ කිරීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් නව බලවේග කට්ටලය ධාවනය කරවීමට දුම්රිය නියාමකවරුන් එක් නොවීම හේතුවෙන් මෙතෙක් උදෑසන සහ හවස දුම්රියෙන් ගමන් කළ පාසල් දරුවන් සහ රැකියාවට එන මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.
දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 22 දින නව බලවේග කට්ටල දුම්රියක් මහනුවර දුම්රිය ස්ථානයට ලබා දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ධාවන බල ඉංජිනේරුවරයා ඇතුළු ඉංජිනේරුවරු හා කාර්මික නිලධාරීන් පිරිසක් සමග එදිනම මහනුවර හා වත්තේගම අතර මෙම බලවේග කට්ටල දුම්රිය ධාවනය කර එය ධාවනයට සුදුසු බවට නිර්දේශ කළ කර තිබේ.
එහෙත් දුම්රිය නියාමකවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මේ දක්වාම දුම්රිය ධාවනය නොකොට මහනුවර දුම්රිය ස්ථානයේ ගාල්කර තිබෙන බව වාර්තා වේ. පසුගිය දා දුම්රිය ධාවනය සඳහා පණ ගන්වා පැයකට ආසන්න කාලයක් බලා සිටි රියදුරන් නියාමකවරයෙක් නොපැමිනීම නිසා ධාවනය නවත්වා දුම්රියෙන් බැස ගොස් තිබේ.
මේ සම්බන්ධව කළ විමසීමක දී දුම්රියේ ප්‍රායෝගික මෙන්ම තාක්ෂණික ගැටලු රැසක් තිබෙන බැවින් එම දෝෂ සියල්ල යථාවත් කරන තෙක් එහි රාජකාරි නොකිරීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රධාන නියාමක නිලධාරී ආර්.කේ.වී. දොරකුඹුර පැවසීය.
මෙම දුම්රියේ රාජකාරි භාර ගැනීම සඳහා දුම්රිය මෙම මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු බවට ලිඛිත සහතිකයක් ලබාදිය යුතු බවත්, ප්‍රධාන නියාමකවරයා කීවේය
එහෙත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඉල්ලා සිටින ආකාරයේ ලිඛිත සහතික මේ දක්වා නිකුත් කර නැතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි.
එම ආරංචි මාර්ග පවසන්නේ වෙනත් වෘත්තිය ගැටලුවක් මුල්කර ගනිමින් ඔවුන් මෙම දුම්රියේ රාජකාරී භාර නොගන්නා බවය.
මහනුවර මාතලේ දුම්රිය මගී එකමුතුවෙ සභාපති කසුන් හල්විටිගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගීන් විශාල පිරිසක් අසරණ වී සිටින බවත් මාස තුනක් සම්පූර්ණයෙන් ධාවනනය ඇනහිට තිබූ දුම්රිය ගමන යළි ආරම්භ කිරීමට සියලුම දේ සම්පූර්ණ වී තිබිය දී දුම්රිය සේවකයින්ගේ වෘත්තීය ගැටලුවක් හේතුවෙන් පුරා දින 03ක් තිස්සේ දුම්රිය ධාවනය නොකිරීම අතිශය අසාධාරණ ක්‍රියාවක් බවය.







