ලබන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75 වැනිද නිදහස් සමරුවට සමගාමීව රජය විසින් සංවිධානය කර ඇති නිදහස් සැමරම් උත්සව සඳහා දැනට රජය විසින් වෙන් කරනු ලැබ ඇති රුපියල් මිලියන 200ක මුදල ප්‍රමාණවත් නැති බැවින් තවත් මිලියන 140ක මුදලක් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.
කෙසේ වුවද මෙතෙක් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මේ සඳහා අනුමැතිය ලබා දී නොමැති බවත් දැනට පවතින මූල්‍ය තත්ත්වය මත වෙන් කළ හැකි උපරිම මුදල රුපියල් මිලියන 200ක් බවත් රාජ්‍ය පරිපාලන පලාත් පාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත දන්වා ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
“නමො නමෝ මාතා – සියවසට පියවරක් මැයෙන්“ පැවැත්වෙන මෙම සැමරුම සඳහා වැඩ සටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර මේ වැඩ සටහන් සඳහා කලින් ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි වියදමක් යන බවට මුදල් අමාත්‍යංශය වෙත දන්වනු ලැබ ඇත.
රට දැවැන්ත ආර්ථික අර්බුදයක සිටියද 75 වැනි නිදහස් උත්සවය සැමරීම සඳහා විශේෂ ආරාධිතයන් තුන් දහසකට ආසන්න පිරිසකට ඇරයුම් කර ඇති අතර ඔවුන් වෙනුවෙන් ගාලු මුවදොර තාවකාලික කුටි ඉදි කිරීමට පමණක් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය වූ බව මෙම ඇස්තමේන්තුවල දක්වා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.