75 වැනි නිදහස් උත්සවයට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර ඇතත් ඒ සම්බන්ධව කිසිම එකඟතාවයකට මල්වතු අස්ගිරි මහා විහාර පැමිණ නැතැයි වාර්තා වේ.
අස්ගිරි මහා විහාරය මේ සම්බන්ධව යම් සහනශීලි ආකල්පයක සිටින නමුත් මල්වතු මහා විහාරය මෙම දළදා ප්‍රදර්ශනය මේ අවස්ථාවේ පැවැත්වීම අනුචිතය යන ස්ථාවරයේ පසුවන බව දැනගන්නට ඇත.
මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව පෙන්වා දී ඇත්තේ උත්තරීතර දළදා වහන්සේ දේශපාලන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීමට ඉඩහැරීම කිසිසේත් නොකළ යුත්තක් බවය. මේ දළදා ප්‍රදර්ශනය අපේක්ෂා කරන්නේ මේ රට ව්‍යසනයට පත් කළ දේශපාලන පාර්ශවයන් විසින් වීම තමන්වහන්සේලාගේ අවධානය යොමු වී ඇතැයි ද උන්වහන්සේලා පෙන්වා දී ඇත.
ස්වාභාවික විපත් උවදුරු අවස්ථාවල විශේෂ දළදා ප්‍රදර්ශන පැවැත්වීම මේ රටේ ගෞරවනීය සම්ප්‍රදායක් වුවත් මේ නිර්මාණය වී ඇත්තේ ස්වභාවික ව්‍යසනයකක් නොවන බවද මල්වතු මහා විහාරීය මහා සංඝයා වහන්සේ ගේ මතය වී ඇතැයි දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් ජනාධිපති මාධය අංශය 75 වැනි නිදහස් දින සමරුව පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ දී මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.
රටේ ඉදිරි කාලය ධාතු ප්‍රදර්ශනවලින්ම ආවරණය කරනු ලබන එම වැඩසටහනට අනුව කපිල වස්තු සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය මැයි මාසයේ කොළඹ නගරයේ දී පැවැත්වීමටත්, චීනයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජුනි මාසයේ දී අනුරාධපුර නගරයේ දී පැවැත්වීමටත්, පාකිස්ථානයේ වැඩසිටින සර්වඥ ධාතුන්වහන්සේ වැඩම කරවීම සහ ප්‍රදර්ශනය ජූලි මාසයේ දකුණු පළාතේ දී පැවැත්වීමටත් මීට සමගාමීව කටයුතු සංවිධාන කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණේය.