චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට ප්‍රවේශවීම වැලැක්වීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම පිළිබඳව කොළඹ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇතැයි මෙරට ආරංචි මාර්ගා උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මෙම නෞකාව සතියක් ගත කිරීම සඳහා අගොස්තු 11 වැනිදා හම්බන්තොට වරායට ප්‍රවේශවීම සහතික කළ දිනයේ සිට ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික ලෙස රටේ ඉහළම දේශපාලනයට සිය අප්‍රසාදය සහ කණස්සල්ල පල කර තිබිණි.
එබැවින් සැලසුම් කළ මෙම නෞකාවේ ගමන පමා කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින්නට ශ්‍රී ලංකා රජයට සිදුවිය. මේ සම්බන්ධව මෙතෙක් කිසිදු ප්‍රතාචාරයක් නොදක්වා සිටි චීනය මේ වනවිට ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා තිබේ.
චීනයේ යුවාන් වැන්ග් යාත්‍රා උපායමාර්ගික වේදිකාවක් වන බවත් එය මහජන විමුක්ති හමුදාවේ ආධාරක බලකායේ කොටසක් බවත් ඉන්දියානු මාධ්‍ය දැඩිව අවධාරණය කර තිබිණි. යුවාන් වැන්ග් වැනි නිරීක්ෂණ ප්‍රවේශයක් සහිත යාත්‍රාවක් මින් පෙර මෙම සාගර කලාපයේ යාත්‍රා කර නැතිවා අයුරු ඔවුහු දක්වා සිටියහ. ඉන්ධන ලබා ගැනීම සඳහා එන මෙම යාත්‍රාව “පර්යේෂණ යාත්‍රාවක්” ලෙස හඳුන්වා දීමට ලංකාව දරන උත්සාහ බොළඳ හෝ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය
ඉන්දියන් එක්ප්‍රස් අද වාර්තා කර තිබුනේ පසුගිය මාස 19 තුළ චීන අවශ්‍යතා මත ලංකාව ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව සැහැල්ලු කිරීමට ගත් දෙවන උත්සාහය මෙම නෞකා ගමන බවය. පසුගිය වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් තමිල්නාඩු වෙරළ තීරයට ආසන්න දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා චීන සමාගමකට ප්‍රදානය කිරීමේ තීරණය ආපසු හරවා ගැනීම සඳහා ඉන්දියාවේ පාර්ශවයෙන් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ශක්තියක් යෙදවීමට අවශ්‍ය වූ බව ඉන්දියන් එක්ප්‍රස් වාර්තා කළේය.
චීන නෞකාවට විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලැබුණේ ජූලි 12 වැනිදා බවත් ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට නාවික හමුදාවේ බෝට්ටුවකින් පළා යාමට දින තුනකට පසුව වීම කොළඹ විමසිය යුතු කාරණාවක් බවද ඉන්දියන් එක්ප්‍රස් පෙන්වා දෙයි.








