සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
ඒ, දැනට පවතින ගොවි විරෝධතාවලට නාමල් කරුණාරත්න මහතා සම්බන්ධ වීම ගැන අමාත්‍යවරයා කළ බව කියන වාචික අපහාසාත්මක ප්‍රකාශයකට එරෙහිව ය.
අලුත්ගමගේ ඇමතිවරයාට රුපියල් මිලියන 500 ක මුදලක් දින 14 ක් තුළ වන්දි වශයෙන් ගෙවන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටගල මහතා මගින් මෙම එන්තරවාසිය යවා ඇත. සති දෙකක් ඇතුළත මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවට ද එමගින් දන්වා තිබේ.
නීතිඥවරයා ප්‍රකාශ කළේ මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශය පසුගිය ඔක්තෝබර් 17 වැනිදා පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක ප්‍රචාරය වූ බවයි.
මහා කන්නය සඳහා පොහොර ඉල්ලා ගොවීන් පාරට ගෙන ඒම සඳහා නාමල් කරුණාරත්න රසායනික පොහොර සමාගම්වලින් මුදල් ලබාගෙන ඇති බවට එම ප්‍රකාශය වක්‍රව සඳහන් කරන බව නීතිඥවරයා පවසයි.
ඇමතිවරයා තම සේවාදායකයාට එරෙහිව නගන චෝදනා පදනම් විරහිත සහ ගොතන ලද ඒවා බවත් ඒවා ගණනය කරන්නේ ජවිපෙට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස තම සේවාදායකයාගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමට බවත් නීතිඥවරයා කියාසිටී.