ශ්‍රියානි විජේසිංහ –
විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවිමට පෙර සනිපාරක්ෂක කම්කරුවන්, වතුකම්කරුවන් සහ මුරකරුවන් පස්දෙනෙකු බැගින් සෑම විද්‍යාපීඨයක් වෙතම එවන්නැයි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය අධ්‍යාපන ලේකම්වරිය වෙත දන්වා සිටී.
විද්‍යාපීඨයන්හි කථිකාචාර්යවරුන් නවක ශික්ෂණලාභීන්ට නවක වදය දීමට සුදානමින් සිටින බවට අභූත චෝදනාවන් කරමින් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කර ඇති ලිපි වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ද සංගමය අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දරට දන්වයි.
විද්‍යාපීඨ ශිෂ්‍යයින්ට ආහාර සඳහා වාර්ෂික රුපියල් 8000 ක මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී ඇති නමුත් එම මුදල මෙතෙක් සිසුන්ට ලබා දීමට කටයුතු නොකර කථිකාචාර්යවරුන්ට අභූත චෝදනාවන් ඉදිරිපත් කිරිමට ලේකම්වරිය කටයුතු කිරිම අතිශය කණගාටුවට කරුණක් යැයි ද ඔවුහු පෙන්වා දෙති.

කථිකාචාර්යවරුන් තම පෞද්ගලික මුදලින් ශික්ෂණලාභීන්ට ආහාර පාන පවා ලබා දීමට කටයුතු කර තිබෙන පරිසරයක්, ඇතැම් කථිකාචාර්යවරුන් ශික්ෂණ ලාභී දරුවන් වෙනුවෙන් කිසිවෙකුටත් නොදැනෙන සේ මාසික ශිෂ්‍යත්ව මුදලක් ලබා දෙමින් ඔවුන් පෝෂණය කරන වටපිටාවක් අධ්‍යාපන විද්‍යාපීඨ සංසකෘතිය තුළ ඇති බව නොදන්නා අධ්‍යාපන ලේකම්වරිය සම්බන්ධව අනුකම්පා කරනු හැර වෙන යමක් කළ නොහැකි බව පවසන ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය කිසි කලෙකත් උපකල්පනය කිරීමටවත් නොහැකි “දරුවන්ට නවක වදයක් දීමට සුදානම් වන කථිකාචාර්යවරුන් “ ගැන පට්ට පල් බොරු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දැන්වීමට තරම් සහැසි වූ අධ්‍යාපන ලේකම්වරියගේ සහ කොමසාරිස්වරියගේ මනෝභාවය ගැන ඇතිවන්නේ පිළිකුලක් බව දන්වා සිටී.
විද්‍යාපීඨයන්ට මෙවර සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ක්‍රියාපටිපාටිය කථිකාචාර්යවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් මෙම පටිපාටිය මගින් විද්‍යාපීඨයන්ට ඇතුළත් වීමට සුදුසුකම් ලත් සිසුන් බහුතරයකට එය අහිමි වී ඇති බවත් ඔවුහු පෙන්වාදෙති.









