ගෝල්ෆේස් අරගලයේ සිවුවන දිනයය.
පෙරදිනයටත් වැඩි ජවයකින් යුතු ජන ගඟකි. එමෙන්ම අද කදිම දවසකි.
රට ලේ විලක් කළ බිහිසුණු ව්‍යසනයක් ගැන අගමැති ඊයේ (11) කතාවේ දී සිහි කළේය. මේ බිමට කිසිසේත්ම අදාල නැති එම ප්‍රකාශය තුළ ගැබ්වුණු ව්‍යංග තර්ජනය මේ ජන අරගලය වාඩාත් ශක්තිමත් කළ බව පෙනුණි.
ලංකා ඉතිහාසයේ තුච්ඡ ජන සංහාය සනිටුහන් කළ 88-89 වකවානුවේ ඒ ම්ලේච්චත්වයට එරෙහිව ස්වකීය කලාව භාවිතයේ යෙදවූ සම්භාවනීය කලාකරුවන් දෙපළ වූ නන්දා මාලනිය, සුනිල් අරියරත්න අරගල බිමේ උන්හ.
එය දෛවෝපගත බව හඟිමි. තිස් තුන් වසරකට පෙර දී නව යෞවනයින් සේ අප ඇසූ පවන ගාලුමුවදොර පුරා රැවු දුන්නේය. 90 පරම්පාරව සීඩී තැටියකින් ඩී.වී.ඩී පටයකින් ඇසූ නන්දා මාලනියගේ මියුරු හඬ අරගල කරුවන්ගේ මෙගා ෆෝන් එකකින් ගෝල්ෆේස් අහසේ නින්නාද වනු අසා සිටියෙමු.
“අවුරුදු දෙදහස් පන්සියක් දැන්
වයසයි මට මගෙ දූ පුතුනේ….
ලේ කිරි කරදුන් ලේත් උරා බී
කිරි කඳුලක්වත් නෑ දෙතනේ
දරුවොත් වැදුවා – දරුවොත් හැදුවා
උන් වැඩි හරියක් සොර දෙටුවො
දරුවන් නොව උන් – මැරයන් පරයන්
මගෙ දේ කා – මට විනකෙටුවෝ….
මේ මොහොතට කවරදාටත් වඩා වලංගු මේ ගීතය ඇය ගැයුවේ මීට අවුරුදු 33ක්ට පෙර බව යළිත් සිහි කරමි. ඒ වනවිට මේ අරගල භූමියේ ඉන්නා මේ තරුණයින් ඉපදීත් නැති බවත් යළිත් සිහි කරමි.
එදා අප හිතුවේ අතීතයේ ඒ මොහොත මේ ගීතයෙන් රූපණය වන බවය. එදාටත් වඩා අද එය වලංගු වූයේ කෙසේ ද?
ඇය අපට මතක් කළේ අප අපේ දරුවන්ට දී තිබෙන අනාගතය ගැනය.
මේ එදාට වඩා අදට වලංගු ඇය එදා ගැයූ ගීතයි…







