දිනසේන රතුගමගේ –
මන්නාරම අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් තුනහමාරක් පමණ සොරකම් කොට අලෙවි කිරීමට ගිය අධිකරණ සේවකයෙකු හා තවත් අයෙකු මන්නාරම පොලීසිය විසින් ඊයේ (19) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ නඩු කටයුත්ත හමාර වන තුරු මන්නාරම අධිකරණයේ නඩු භාණ්ඩ තැන්පත් කෙරෙන ගබඩාවේ ඉතා සුරක්ෂිත ලෙස ගබඩා කොට තිබූ කේරළ ගංජා තොයකි.
වසර කීපයක සිට මෙම අධිකරණ සේවකයා ගබඩාවෙන් විවිධ මත්ද්‍රව්‍ය සොරාගෙන අලෙවි කොට ඇති අතර එම මත්ද්‍රව්‍ය ඔතා සීල් තබා තිබූ පාර්සල් ඉතා සීරුවෙන් ගලවා එම පාර්සල් තුළට වෙනත් ද්‍රව්‍ය යොදා යළි තිබූ ආකාරයටම සකස් කොට ඇති බව පොලිසි පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
සොරා ගන්නා ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් තුනක පමණ ප්‍රමාණය පාර්සල් දෙකකට සකස් කොට ඒවා අලෙවි කිරීමට යතුරු පැදියකින් රැගෙන යමින් තිබියදී මන්නාරම පොලීසියට ලැබුණු තොරතුරක් මත බඩුත් සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මන්නාරම පොලිසිය පියවර ගෙන තිබේ.







