ශ්‍රියානි විජේසිංහ –
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් බිහිවෙමින් පවතින බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය වේගයෙන් මැදිහත්ව මෙම තත්ත්වය පාලනය කළ යුතු බවත් එසේ නොකළහොත් රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්වීම වැළැක්විය නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ව්‍යාජ වෛද්‍යවරුන් හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා බිම් මට්ටමේ සිට ක්‍රියාකාරී කමිටුවක් පත් කරන මෙන් අවශ්‍ය යෝජනාවන් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බවද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
තමන්ට ආවේණික වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරුන් වෙනත් වෛද්‍ය ක්ෂේත්‍රයන් තුළ ප්‍රතිකාර කටයුතු කිරීමද නීතියට පටහැනි බව හෙතෙම පෙන්වා දෙයි.
වෛද්‍ය නිර්දේශ වලින් තොරව කිසිදු පුද්ගලයෙකුට ඖෂධයක් නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂාවක් කිරීම, විකිරණ පරීක්ෂණයක් කිරීම පුරා තහනම් යැයි හෙතෙම පෙන්වා දෙයි.
මේ වන විට වකුගඩු, පිළිකා, හෘද රෝග සුව කරන බවට විවිධ පුද්ගලයින් ජනතාව මුලා කරමින් විශාල වශයෙන් මුදල් ගසාකමින් සිටින බවත් මොවුන් දැනට පවතින නීතියේ හිඩැස් වලින් රිංගා යමින් නැවත නැවත එකම වරද කරමින් රෝගී ජනතාව සූරා කන ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් පෙන්වා දෙන සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශය වහ වහා මැදිහත්ව මෙම අවාසනාවන්ත තත්ත්වය මර්දනය කිරීමට පියවර නොගතහොත් රෝහල් පද්ධතියට විශාල අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව පවසා සිටියි.