දෙරණ –
ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණය කර ඇති බවය.
එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කළ ලෙසද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.