ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දේශපාලන කටයුතු සඳහා කැපවීම අවශ්‍ය බැවින් හැකිතාක් විදේශ ගමන් සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මැයි රැළියෙන් පසු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු වේගවත් කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.
ජනාධිපතිවරණය ඍජුව ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු දියත් කිරීමේ ප්‍රවේශයක් ලෙස මෙම රැළිය මෙවර මහා පරිමාණයෙන් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර තිබේ. මේ වන විට පක්ෂය වෘත්තීය කණ්ඩායම් සමඟ රට පුරා රැස්වීම් පවත්වමින් සිටී.
පක්ෂ සහ කණ්ඩායම් රැසක් එක්වීමට නියමිත පුළුල් සන්ධානයක් නියෝජනය කරමින් මැතිවරණයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.
මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ඔහු පිටුපසින් බර වී සිටින අතර පක්ෂයේ අනෙක් පාර්ශවය තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙස අවධාරණය කරන තත්ත්වයක් තුළ පොහොට්ටුව කැඩී යෑමේ අවදානමක් පවතින බව ද අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) හෝ ඕනෑම පක්ෂයක් සමඟ කටයුතු කිරීමට හැකියාව ඇති බවත්, වෙනත් කිසිම නායකයෙකුට කළ නොහැකි දේ ඔහු ඉටු කළ බවත්ය.







