මහනුවර නගර මධ්‍යයේ පිහිටි රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් තමන්ගේ ඉඩම කෝටි 08කට විකිණීමට සූදානම් වෙද්දී දේශපාලන බලය සහිත කණ්ඩායමක් විසින් ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට මංගලිකා නානායක්කාර නැමැති කාන්තාවක් පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
බලහත්කාරයෙන් සිය ඉඩමට ඇතුළු වූ මේ කණ්ඩායම මේ වනවිට ඉදිකිරීම් සිදුකරගෙන යන බවත් සිද්ධිය සම්බන්ධව පොලිසියේ පැමිණිලි 06ක් මේ වනවිට දමා ඇතත් පිළිගත හැකි සාධාරණ විසඳුමක් මහනුවර පොලිසියෙන් නොලැබෙන බවත් ඇය පැවසුවාය.
මංගලිකා නානායක්කාර නැමැති මෙම කාන්තාව පවසන්නේ වසර 1956 සිට මේ දක්වා අදාළ ඉඩමේ හිමිකරු ලෙස අමරදාස නැමැති තමන්ගේ පියා නීතිමය වශයෙන් ඔප්පු හිමි කරු බවය. ඒ සඳහා සියලුම ඔප්පු ඇතුළු ලේඛණ තමන් සතුව බවත් මේ ඉඩම තමන්ට පිය උරුමයෙන් හිමිවූවක් බවත් ඇය කියන්නීය.
ඥාතිත්වයෙන් පැවරී ගෙන එන මහනුවර පරණ පේරාදෙණිය පාරේ දොඩම්වල හංදියේ පිහිටි අක්කර පහයි රූට් එකයි පර්ච් 21 ක ඉඩමෙන් හරි අඩක් සිය පියා ට හිමි බවද ඇය ඔපුප් සහිතව පෙන්වා දුන්නාය. ඇය කියන්නී ව්‍යාජ හිමිකම් පෙන්වමින් මේ වනවිට එක්තරා පිරිසක් ඉඩම හිමිකරගැනීමට බලය පෙන්වමින් කටයුතු කරන බවය.
ඇය කියන්නීය ඇයට නීත්‍යානුකූලව හිමි ඉඩමට බලහත්කාරයෙන් අතුළු වී සිටින්නේ මහනුවර ප්‍රදේශයේ පදිංචි දේශපාලන සම්බන්ධතා සහිත කෝටිපති මැර පිරිසක් බවය. ඔවුන් මේ වනවිට එහි කොටසක පස් ඉවත් කර තාවකාලික ඉදි කිරීමක් ද සිදුකර ඇති බව මංගලිකා නානායක්කාර කියන්නීය.

ඉඩමේ හිමිකාරිත්වය තමන්ට ඇති බව කියා මෙම ඉදි කිරීම නතර කරන ලෙස එතැනටම ගොස් තමන් අවස්ථා කීපයක දී විරෝධය පල කළ බව මංගලිකා නානායක්කාර කීවාය.
ඇය පවසන්නී මැර කණ්ඩායමක් මෙම භූමිය අත්පත් කරගෙන තමන්ට එයට ඇතුළු වීමට ඉඩ නොදෙන බව දන්වා පොලීසියට පැමිණිලි හයකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙන බවය.
පොලිසිය මේ වනතුරුත් කිසිම පිළිගත හැකි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී නොමැති වීම සම්බන්ධව ඇය දැඩි වේදනාවකින් යුතුව කතා කරන්නීය.
ඉඩම තුළට පසුගිය 07 වැනි දින බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් ද දමා පස් ඉවත් කිරීමක් සිදු කරත් දී තමන් ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකින් පසු එය නතර කිරීමට පියවර ගත් නමුත් මේ වනවිට යළිත් පස් ඉවත් කිරීම සහ තාවකාලික ඉදි කිරීමක් සිදු කිරීමේ වැඩ ආරම්භ කර තිබෙන බවද ඇය කීවාය.
අදාළ ඉඩම රුපියල් කෝටි 08 කට විකිණීම සඳහා සූදානම් කර තිබිය දී මෙම පිරිස ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බව ඉඩම හිමි බව කියන මංගලිකා නානායක්කාර ප්‍රකාශ කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා හතරක දී මහනුවර පොලීසියේ ඉහළ නිලධාරීන්ද හමුවී පැමිණිකළ නමුත් මෙතෙක් විධිමත් විමර්ශනයක් සිදු නොවුණු බව ද ඇය කීවාය.

බලධාරීන්ගේ පිළිතුරු
මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර නගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පැවසුවේ දොඩම්වල මංසන්ධියේ ඇති ඉහත ඉඩම සම්බන්ධයෙන් එම ඉඩමේ හිමිකරු බව කියන මංගලිකා නානයක්කාර නැමැති පේරාදෙණිය එළුගොඩ පදිංචි මංගලිකා නානායක්කාර නැමැති කාන්තාවක විසින් මහනුවර නගර සභාවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.
නමුත් පස් කැපීම සම්බන්ධයෙන් පියවර ගත යුත්තේ ගඟවට කෝරළය ප්‍රාද්ශිය ලේකම් කාර්යාලය බවත් නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.
අනුමැතිය නොමැතිව ඉදි කිරීමක් කරනවා නම් එය නැවැත්වීමේ බලය නගර සභාව සතු බවත් ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයට ගොස් තහවුරු කර ගැනීමක් කළ යුතු බවත් නාගරික කොමසාරිස්වරයා කීය.
අදාළ ස්ථානයේ ඉදි කිරීමක් සඳහා නගර සභාවෙන් අවසරයක් ලබාගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් හෙතෙම කිවේය.
මේ සම්බන්ධව මහනුවර පොලිසියෙන් කළ විමසීමක දී පොලිසිය පවසන්නේ මහනුවර නගරය හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් කූඨ ලේඛණ සකස් කර අත්පත් කර ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් අදාළ පාර්ශව දෙක ඉදිරිපත් කරන ඔප්පු වලින් සැබෑ ඔප්පුව කුමක් ද යන්න තෝරා බේරා ගත යුත්තේ අධිකරණය මගින් බවය.
ඉඩමේ පස් ඉවත් කර තාවකාලික ඉදි කිරීමක් සිදුකරන කණ්ඩායම පවසන්නේ අදාළ ඉඩමේ අයිතිය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි තමන් සතු බවයි








අයිතිය තමාට ඇත්නම් දිසා අධිකරණයේ නඩුවක් පවරා අධිකරණය මගින් ඉඩම තහනමට ලක් කරන්න.