ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් පත්වන රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පත්කරගැනීමේ නිලවරණය ආසන්න වනවිට දේශපාලන බලපෑම් නොතකන පරිපාලන නිලධාරීන් අශිෂ්ට ලෙස දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ බිල්ල වී ඇත්තේ දේශපාලන බලපෑම් ඉදිරියේ අනම්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ කීර්තිමත් පරිපාලන නිලධාරියෙක් ලෙස ගෞරවයට ලක් වූ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි ය. ඔහු අතාර්කිකව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය වෙත මේ වනවිට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

වැලිගෙපල ප්‍රාදේශීය ලේකම්වරයා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියෙක් වන අතර ඔහු සිය නිල ස්ථාන මාරුවීම්වල දී ප්‍රමුඛතාවය මත ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරය හා වැඩ බලමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ධූරය වෙනුවට ඔහුව සංචිතයට පළවා හරිනු ලබන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් තනතුර පුරප්පාඩුව පවතිද්දී ය.
එමෙන්ම ඔහු ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරයට ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරිනියක පත් කර තිබේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ පළිගැනීම් සහගත ස්ථාන මාරුවට ප්‍රධානම හේතුව වන්නේ බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා සබරගමු දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ රාජ්‍ය ඇමතිවරයෙකුගේ ආධාර කරුවෙක් ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකිරීම බවය.
මේ පරිසරය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ඔහුව පත් නොකිරීමට දේශපාලන බල අධිකාරිය තීරණය කර ඇත්තේ රත්නපුර මහ සමන් දේවාලයේ බස්නාය නිලමේ තනතුර සඳහා මේ වනවටත් දියත් වී ඇති පහත් දේශපාලන බලපොරය නිසා බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කළේය.
ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව නීතිය ඉදිරියට යෑමට කටයුතු කරන බව ද වාර්තා වී ඇත.







