පසුගිය වසරක කාලයක් තුළ මත්කුඩු ටොන් එකකට වඩා රට තුළට රැගෙන විත් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන සිටින දෙමටගොඩ රුවන් නැමැති කුඩු ජාවාරම්කාර පාතාල නායකයා තමන් සමග සමීප සම්බන්ධකම් පවත්වමින් තමන්ගේ මුදල් මත යැපුනු ඉහළ පෙළේ දේශපාලකයන්ගේ සහ නියෝජ්‍ය පොලිස්පති මට්ටමේ පොලිස් නිලධාරීන්ගේ නම් ගම් සහිත සියලුම තොරතුරු හෙළිදරව් කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වරදරු වී මේ වනවිට මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ සිරගෙදර ගත කරන දෙමටගොඩ චමින්ද ගේ සහෝදරයෙක් වූ දෙමටගොඩ රුවන් ඊයේ (29) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගැනීමේ නියෝග මත අත්අඩංගුවට ගත්තේය.
මේ අපරාධකරු රටේ පක්ෂ විපක්ෂ දේශපාලන ප්‍රබලයන් බලයට රැගෙන ඒම සඳහා විවිධ අවස්ථාවල රුපියල් කෝටි ගණනින් වියදම් කර ඔවුන් සමග සමීප සබඳතා ගොඩනගාගෙන තිබිණි. එමෙන්ම රටේ දේශපාලනයට සම්බන්ධ බලවත් හිමිවරුන්ට ද පිරිකර ලෙස අලුත්ම වාහන පූජාකර ඔවුන්ගේ ආවරණය ද සිය මත්කුඩු ජාවාරමට ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බව හෙළි වී තිබිණි. දේශපාලන තීරක බලයක් සිය පන්සල කේන්ද්‍රකරගෙන මෙහෙයවන කොළඹ බල ප්‍රදේශයට අයත් අතිශය දේශපාලනික පන්සලක බලවත්ම නායක හාමුදුරුනමක් පරිහරණය කරමින් සිට තිබුණේ මෙම කුඩු ජාවාරම්කරු විසින් අලුතින්ම මිල දී ගෙන ලබා දුන් හොන්ඩා වෙසල් වර්ගයේ රථයකි.
මේ වනවිට සිදුකරමින් ඇති ප්‍රශ්නකිරීම් වලදී නගර සභා චන්දවල සිට ජනාධිපතිවරණ, මහ මැතිවරණ දක්වා, කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉහළම දේශපාලන බලවතුන් වෙනුවෙන් මේ කුඩු ජාවාරම්කරු කළ වියදම් මෙන්ම ඔවුන්ගෙන් ලබා ගත් රැකවරණය සම්බන්ධව සියලු තොරතුරු ඔහු චකිතයකින් තොරව මේ වනවිට හෙළිකරමින් සිටින බව පැවසේ.
එමෙන්ම තමන් විසින් නඩත්තු කළ පොලිසියේ ඉහළම නිලධාරීන් මෙන්ම යුද හමුදාවේ නිලධාරීන්ගේ නම් ලයිස්තුවක් ඔහු විසින් ප්‍රකාශ කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මේ හෙළිදරව්වීම් හේතුවෙන් කොළඹ දේශපාලන බලවතුන් කීපදෙනෙක් දැඩි තිගැස්මකට ලක් වී ඇතැයි කියැවේ.