දුර්ලභ ගනයේ වාලම්පුරියක් බව පවසමින් මනාකොට අසුරා වෙල්වට් රෙද්දකින් ආවරණය කර හක්බෙල්ලෙක් රුපියල් ලක්ෂ පහකට අලෙවි කිරීමට උත්සාහ කළ වංචාකරුවන් තිදෙනෙක් උඩුදුම්බර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාකරුවන් හක්බෙල්ලා රැගෙන විත් ඇත්තේ දුර්ලභ පූජා භාණ්ඩයක් වඩම්මන ආකාරයටය.
දුර්ලභ වාලම්පුරියක් අලෙවි කිරීමට යන බවට ලද තොරතුරක් මත උඩුදුම්බර පොලිසිය විසින් කළ වැටලීමක දී මෙම පුද්ගලයින් තිදෙනා කළු පැහැති ත්‍රී රෝද රථයක් සමග අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරද්දී අනාවරණය වී ඇත්තේ මේ අලෙවි කරන්නට උත්සාහ කර ඇත්තේ දුර්ලභ වාලම්පුරියක් නොව හක් බෙල්ලෙක් බවය.
උඩුදුම්බර ආශ්‍රිතව ව්‍යාජ තොරතුරු පතුරුවාහරිමින් නිධන් වලින් ලබාගත් දේ පවසමින් නොයෙකුත් භාණ්ඩ රුපියල් ලක්ෂ ගණන් වලට අළෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධව අවධියෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.බී පලිහවඩන පවසයි.
සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
උඩුදුම්බර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන ගේ උපදෙස් මත වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක, අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුමාරසිරි ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.