මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි විශාල ප්‍රමාණයේ කොටියෙකු මරා හමගසා ආහාර සඳහා රැගෙන යමින් සිටි හෙනානිගල ප්‍රදේශයේ ආදිවාසීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් ඇලකට පැන පලාගොස් ඇති බව හේනානගල අඩවි ආරක්ෂක කාර්යාල සඳහන් කරයි.
එම කොටියා දිගින් අඩි හයකින් පමණ යුක්ත බවත්, සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් දුරකථනය ඔස්සේ පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හේනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී පැවසීය.
මෙම සැකකරුවන් තිදෙනාම දුර්ලභ ගණයේ කොටියා මරා හමගසා ගෙන ඒමේදී මාදුරුඔය කහ පාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇලකට පැනපලා ගොස් ඇති බවද හෙතෙම කීවේය.
ගම්මානයෙන් පලා ගොස් ඇති සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවේ සේවය කර ඉවත් වූ අයකු බවට හඳුනාගෙන තිබෙන අතර, මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සිදුකරන බවත්, අත්අඩංගුවට ගත් වහාම ඔවුන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම කොටියා මරා ඇත්තේ වෙඩි තැබීමකින්ද නැතහොත් වෙනත් ආයුදයකින් පහරදීමකින්ද නැද්ද යන්න පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම කීවේය.
සැකකරුවන් අවුරුදු තිහක් හතළිහත් පමණ වයසේ පසුවන අයවලුන් බවත්, ඔවුන් හෙනානිගල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර මේ වෙනවිට ඔවුන් එම ගම්මානයෙන්ද පලාගොස් ඇති බවත් විමර්ශන සිදුකරන කුමාරසිරි විජේකෝන් මහතා කීවේය.







