ආන්ඩු පක්ෂයේ ඇමතිකම් සහිතව නඩු කියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටින දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවිර පක්ෂය තුළ දැරූ ධූරවලින් ඔවුන් පලවා හැර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායකත්, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්නත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් මහින්ද අමරවීරත් ඉවත් කර තිබේ.
අනතුරුව ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධනත්, භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර වෙනුවට සරත් ඒකනායකත් පත් කරගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන තිබිණි.
මෙම තීන්දුව ගැන මෛත්‍රීපාල සිරිසේන මින් පෙර මහනුවර දී ඉඟියක් කරනු ලැබුවේය. ඔහු කීවේ පක්ෂය ගොඩ නැගීමට ඇති ලොකුම බාධාව ආණ්ඩුවට ගොස් කෑදර කමට ඇමැතිකම් ගෙන යළි නඩු කියා පක්ෂයේ තනතුරුවලට අරක්ගත් පිරිස බවය.
පක්ෂය විනයානුකූල පියවර ගනිත් දී ශ්‍රේෂ්ඨාධිකරණ තීණ්දුවක් මගින් යළි පක්ෂයට පැමිණි මෙම කණ්ඩායමට තමන් කියන්නේ ආණ්ඩුවට වී ඉන්නට බැරිනම් පක්ෂයට හිරිහැර නොකර ඉන්නා ලෙස යැයි මෛත්‍රීපාල සිරිසේන කීවේය.
ඔහු පැවසුවේ නීතියට ගරු කරන මුත් පක්ෂය තුළ ඇති මේ විකෘති සහගත ගැටලුව මේ මාසය තුළම විසඳා ගැනීමට අපේක්ෂා කරන බවය.