කීර්ති ප්‍රනාන්දු –
ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ වෙනම ආකාරයට ලෝකය දකින්නෙකි. ලෝකය විග්‍රහ කරන්නෙකි. අද ලෝක ළමා හා වැඩිහිටි දිනය දා ලංකාසර අපි වන්නිලා ඇත්තෝ ඇමතීමු.
මේ ඔහු අප සමග කළ කෙටි පිළිසඳරේ සංක්ෂිප්තයයි.
“ අද ළමයින්ට වෙන් කළ දිනයක්. මා සතුටු වෙනවා දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් මේ වගේ දිනයක් වෙන් කිරීම ගැන.“
“අද වෙනකොට මේ රටේ ඉතිහාසය ගැන හොයන්න මිනිසුන් ජීවත් වුන විදිහ හොයන්න විවිධ තැන්වල පුරාවිද්‍යාත්මක කැණීම් කරනවා. මිට වසර හතලිස් අට දහසකට පනස් දහසක ඉතිහාසයක් හොයන්නයි මේ කැණීම් කරන්නේ. නමුත් මේ රටේ කිසිම කැණිමකින් ළමා නිවාසයක, මහළු නිවාසයක තොරතුරු හමුවෙලා නෑ.“
“නමුත් අද මිනිස්සු කියනවා අතීතයෙ නොදියුණු මිනිස්සු මේ රටේ ජීවත් වුණේ කියලා. චාරිත්‍ර වාරිත්‍ර හැදියාව අද තරම් තිබුනු කාලයක් නෙමෙයි කියලයි මිනිස්සු කතා කරන්නෙ. මිනිස්සු හඳට යනවා තමයි. ග්‍රහලෝකවලට යනවා තමයි. ලෝකය මහා දියුණුවක් ලබලා තමයි. එත් මිනිස්සු පිරිහිලා ගිහින්.“
“බලන්න නගරයකට ගිහින්. ළමා නිවාස කීයක් තියනව ද?. අනාථ මඩම් කීයක් තියනව ද?. මිනිස්සුට තමන්ගේ ජීවිත චර්යාවන් ගැන නැවත හිතලා බලන්න තමයි ලෝක ළමා දිනයක්, ලෝක වැඩිහිටි දිනයක් නම් කරලා තියෙන්නෙ.“
“මේ දියුණුයි කියලා හිතන සමාජයෙ දරුවො තාඩන පීඩන හිරිහැර වලට ලක් වෙනවා. අම්මලා තාත්තලගෙනුත් පීඩාවට පත් වෙනවා. එහෙම කාලයක ළමයින් වෙනුවෙන් දිනයක් වෙන් කිරීම වැදගත්.“
“ළමයෙකුට ළමා කාලයක් තියෙන්න ඕන නිසා තමයි, නිදහසේ ඉන්න කාලයක් තියෙන්න ඕන නිසා තමයි ඔහුට ළමයෙක් කියන්නේ. දරුවෙකුට කැලේ ගිහින් සෙල්ලම් කරන්න කාලයක් තිබිය යුතුයි. ළමයෙක් ලෙස වැඩෙන්න කාලයක් තිබිය යුතුයි. ලෝකය දියුණු වෙනවා කියලා කියනකොට ඒ හැම දෙයක්ම ළමයින්ගෙන් ඈත් වෙලා ගිහින්. දරුවො ඉන්නෙ තරගයක. ඒ තරගය තියෙන්නේ අම්මල තාත්තලා අතර.“
“අල්ලපු ගෙදර ළමයා හොඳට ඉගෙන ගන්නවා නම්, අපේ දරුවා අධ්‍යාපනයට මන්දගාමී නම් අපේ දරුවාට ලෝකයේ තියන හැම අපහාසයක්ම කරනවා. දඬුවම් කරනවා. දියුණුයි කියන ලෝකය දරුවන්ට සලකන්නෙ එහෙමයි.“
“අපේ තාත්තලාගෙ කාලෙ දි මේ වගේ දින වෙන් කරලා තිබ්බෙ නෑ. එදා කාලෙ ළමයින්ට ළමා කාලයක් තිබුණා. අපි පොඩි කාලෙත් අපිට ළමා කාලයක් තිබුණා. ළමයි නිදහසේ හිටියා. ළමා කාලය ගත කරන දරුවොන්ට හැම දවසක්ම ළමයින්ගෙ දවසක් වුණා. “
“දරුවනේ.. මම ඔබට මතක් කරන්නේ. අද ඔබේ දවස. ඔබට වටිනා දිනයක්. දරුවන් හැටියට ඔබ අදවත් සෙල්ලම් කරන්න ඕන. කැලෑවෙ දුවන්න පනින්න ඕන. මඩේ නටන්න ඕන, අවුවෙ ඉන්න ඕන. එහෙම නිදහසේ ඉන්න.
“හැබැයි ඔබට යමක් කිව යුතුයි. ඉස්සරහට ලෝකයෙ අමාරු කාලයක් එනවා. ඊට මුහුණ දෙන්න සැරසෙන්න… ඉගෙන ගන්න. අධ්‍යාපනය කියන්නෙ පොතෙන් පතෙන් ලැබෙන දේ විතරක් නෙමෙයි. “