සිර දඬුවම් නියම වූ උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ ලේකම් ශාන්ති චන්ද්‍රසේන විසින් කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
දූෂණ චෝදනාවලට වරදකරුවන් වී සිටින මේ දෙපලට කොළඹ මහාධිකරණයෙන් වසර 16 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී ඇක.
අභියාචනා පෙත්සම් හරහා පෙත්සම් කරුවන් කියා සිටින්නේ අදාල නඩු විභාගයේ දී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය තීන්දුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන නැති බවත්, තමන් අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත්ය.
2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් එම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරියගේ වැටුප සමග ඉන්ධන දීමනාවක් එක් කර තිබියදී එය අභිබවා නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 26 කට අධික ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එස්.එම්. රංජිත් සහ ශාන්ති චන්ද්‍රසේන යන අයට එරෙහිව ‘දූෂණය’ නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබිණි.
මෙසේ අවභාවිතා කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 16,784 ක් බව නඩු විභාගයේදී අනාවරණය විය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් පනත යටතේ චෝදනා හයක් ගොනුකර තිබූ බවයි.
ඉන් චෝදනා දෙකකට විත්තිකරුවන් වරදකරු කරන බව විනිසුරුවරයා සඳහන් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා “වෙනත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මෙම සිද්ධියේදී අනුගමනය කිරීමට හැකියාවක් නැහැ. මෙම නඩුකරය තුළින් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක්. පළමු වන විත්තිකරු මහජන නියෝජිතයකු වශයෙන් තේරී පත්වූ අයෙකු වන අතර ඔහු මහජනතාවට වගකිව යුතු ආකාරයෙන් කටයුතු කිරීමට බැඳී සිටිනවා. දූෂණ ක්‍රියා නිසා රටේ ආර්ථිකයටත් අහිතකර බලපෑම් එල්ල වෙනවා. පසුගිය කාලයේ අපේ රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුණා. මෙවැනි ආර්ථික අර්බුදවලට රට තුළ සිදුවන දූෂණ ක්‍රියාත් බලපානවා. එම නිසා මෙවැනි චෝදනා එල්ල වන මහජන නියෝජිතයින්, රජයේ නිලධාරීන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට සිදුවෙනවා” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට විත්තිකරුවන්ට හැකියාව පවතින බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.







