දිනසේන රතුගමගේ
මැයි මස 18 වෙනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම පිණිස සංවිධානය කරණු ලබන උත්සවයට කිසිම දේශපාලන මුහුණුවරක් ලබා දීමට දෙමළ දේශපාලනඥයින් නොපැමිණිය යුතු බව දෙමළ දේශපාලන පක්ෂ සමූහයේ උපදේශක වේලන් සාමිවරයා අද (27) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.
යුද්ධයෙන් මිය ගොස් ඇත්තේ සාමාන්‍ය අහිංසක ජනතාව නිසා ඊට මේ අවස්ථාවේදී දේශපාලන මුහුණුවරක් ලබා දීම සිදු නොකළ යුත්තේ දකුණේ දේශපාලනය මුල් කරගෙන විශාල අරගලයක් පවතින නිසා බවද සාමිවරයා ප්‍රකාශ කොට තිබේ.
යුද්ධයෙන් මියගිය පිරිස සැමරිම සඳහා ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන්නේ දුක සන්තාපය හා කාංසාව මුල් කරගෙන් නිසා දෙමළ දේශපාලනඥයින් පමණක් නොව අන් සියලු දෙමළ සංවිධානත් ඔවුන්ගේ ඒ හැඟීම් යටපත් නොවන ආකරයට කටයුතු නොකළ යුතුව ඇතැයිද වේලන් සාමිවරයා පෙන්වා දී තිබේ.
මුල්ලිවයික්කාල් යුද සැමරුම් උත්සවයට දේශපාලනය ඈදා ගතහොත් මේ දිනවල දකුණේ අරගලයන් සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පල කිරීමට පටන් ගන්නා නිසා ඒ තත්ත්වය යුද්ධයෙන් මියගිය පිරිස ශෝකානූකූලව සැමරීමේ මූලික අරමුණට විශාල බාධාවක් වන බවද පෙන්වා දී තිබේ.
මේ අවස්ථාවට දෙමළ දේශපාලනඥයින්ට ආරාධනය නොකළ යුතු බවත් ඔවුන් අනාරාධිතව එදිනට එම ස්ථානයට පැමිණියහොත් ඔවුන්වද සාමාන්‍ය වැසියන් සේ සලකා කටයුතු කරණ ලෙස වේලන් සාමිවරයා උත්සවය සංවිධානය කරණ පිරිසගෙන් ඉල්ලීමක් කොට ඇත.







