ඉරාන තෙල් සමාගමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු හිඟ ඩොලර් 250,925,169 ක මුදල මෙරට තේ අපනයනයෙන් පියවීමට අවබෝධතා ගිවිසුමක් (MoU) අද (21) අත්සන් කර තිබේ.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම අත්සන් තැබිණ.
අද දහවල් 12.00 ට විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉරානයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍යය අලිරේසා පෙය්මන්පාක් දෙදෙනායි.
යෝජිත යෝජනා ක්‍රමය අනුව ලංකා තේ අපනයනය වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට ඇති අමෙරිකානු ඩොලර් 250,925,169/= ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කෙරේ.
ඒ අනුව මෙම යෝජනා ක්‍රමය මගින් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් දේශීය මුදලින් පියවීම සිදු කිරීමට හැකි වේ.
පසුගිය දශක කිහිපය තුළ ලංකා තේ ආනයනය කරන ඉහළම රටවල් 10 අතර සිටි ඉරානයට 2012 නොවැම්බර් මාසයේදී
අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබේ.
බැංකු පද්ධතිය හරහා පිළිගත් ගෙවීම් යාන්ත්‍රණයක් නොමැති වීම නිසා මෙරට තේ අපනයනකරුවන් හට අපනයන ආදායම ලබා ගැනීමට අපහසු විය.
මේ ආර්ථික සම්බාධක හේතුවෙන් 2016 දී 47% ක පමණ වෙළඳපල කොටසක් හිමිව තිබූ සිලෝන් ටී වෙළඳපොළ 2020 දී 25% දක්වා පහත වැටුණි.
මේ හේතුවෙන් 2013 වසරේ දී තේ කිලෝග්‍රෑම් මිලියන 38.42ක් ශ්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කෙරුණද 2020 දී එය කිලෝග්‍රෑම් මිලියන 14.73 දක්වා පහත වැටිණි.
මෙම යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සෑම මසකම පළමු සඳුදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත මසකට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් ශ්‍රී ලංකා රුපියල් නිකුත් කිරීමට අපේක්ෂිතය.
මෙම යාන්ත්‍රණය පිළිගත් විගණන සමාගමක් හරහා පරීක්ෂාවට ලක්කෙරේ.
නිර්දේශයන්ට පදනම්ව මුදල් අමාත්‍යාංශය විසින් මුදා හරින ලද අරමුදල්වලින් තේ අපනයනකරුවන්ට ගෙවිය යුතු ගෙවීම් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කරයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ විදේශ ප්‍රේෂණ සම්බන්ධ නොවේ.
එබැවින් කිසිදු ජාත්‍යන්තර මුදල් ගනුදෙනුවකින් තොරව ඉරානයට සිලෝන් ටී සැපයීම සඳහා මසකට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් ලබාදීමට යෝජිත වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරේ.







