අනුරාධපුර – පර්සි කුරුනේරු-
තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ හේනක තුඹසක් තුළ තිබී හමුවූ මී වදයක මී පැණි අනුභවයට ගැනීමෙන් පසු ගොවි මහතෙක් මිය ගොස් තිබේ.
ඊයේ සවස (04) 1ට පමණ මේ මරණය සිද්ධ වී ඇත.
මියගොස් ඇත්තේ තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන ඩී.ශාන්ත හිට්ලර් කොඩිතුවක්කු (51) නමැති ගොවි මහතෙකි.
ඔහු එළඹෙන මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සදහා කුලී පදනම මත ලබා ගත් ඩෝසර් යන්ත්‍රයක් මගින් තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ පිහිටි සිය හේන සුද්ද පවිත්‍ර කරමින් සිටියදී තුඹසක තිබී හමුවී ඇති මෙම මී වදයේ පැණි අනුභවයට ගත් අවස්ථාවේ ගොවි මහතා එකවරම ක්ලාන්ත වී එම ස්ථානයේම බිම ඇද වැටී ඇත.
අනතුරුව වහා ක්‍රියාත්මකවී ඇති ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු හා ඔහුගේ සහයකයා එක්ව ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගොවි මහතා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට රැගෙන යමින් සිටින අතරතුර මියගොස් ඇත.
පසුව මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී විසින් රෝගියා පරීක්ෂා කර ඔහු මියගොස් ඇති බව පවසා තිබේ.
අනතුරුව මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දඹුල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කර තිබිණි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතව ඇත.