ලංකාසර ආරක්ෂක වාර්තාකරු විසිනි –
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිඳ අකුරෙගොඩදී ඝාතන කෙරිණි.
මෙරට ආරක්ෂක අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය පිහිටා ඇත්තේ අකුරගොඩය. ඝාතනය සිදු වූ ස්ථානය හා ආරක්ෂක සේනා මූලස්ථානයත් අතර දුර මීටර් 600කට නොවැඩිය. මෙරට ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර කුමර දිසානායකය. එය එසේ වන අපරාධ කල්ලි ක්‍රියාකාරිකයන් සිය හපන්කම පෙන්වා ඇත්තේ ජනපතිවරයාටය.
මෙරට රාජ්‍යය තුළ ක්‍රියාත්මක කෙරෙන බුද්ධි සේවාවන් ගණනාවකි. එහෙත් එම බුද්ධි සේවා එකක්වත් සිය ආරක්ෂක සේනා මූලස්ථානය ගැන හෝ ඒ අවට ක්‍රියාකාරකම් ගැන අවධානයක් යොමුකර නොතිබූ බව මෙම සාහසික ඝාතනයෙන් තහවුරු කර ගත හැකිය. සමාජය තුළ ඒ ගැන කතා බහ වන්නේ මෙරට ආරක්ෂක ප්‍රධානීන්ගේ රෙදි ගලවා දමමිනි. විපක්ෂය මේ ඝාතනය පිළිබඳව උද්දාමයට පත් වන බව නිසැකය. මේ මිනිස් ඝාතනය ජාජබ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා සිදුවූ බවට ඔවුන්ට චෝදනා එල්ල කරන්න පදනමක් තිබේ.
ජාජබ ඔතෑනිකම –
ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිටම ආණ්ඩුවේ කෙරුම්කාරයන් රාජ්‍යය සමග ගණුදෙනු කරන්නට ගත්තේ ඔතෑනි ස්වරූපයෙනි. පරණ පුරුදු දූෂිත ක්‍රියාකාරකම්වලට ඇබ්බැහිවී සිටි අමාත්‍යංශවල ප්‍රධානීන්ට ආණ්ඩුවේ ඒ ඔතෑනි ස්වරූපය කල්ල මරේ චාන්ස් එකක් විය. මෙහි බරපතල අවදානමට ගොදුරු වූයේ ජාතික බුද්ධි සේවාවන් හා පොලිස් දෙපාර්තමේන්තුවයි. ජාතික බුද්ධි සේවාවේ පහල ඇවරිය තවමත් ජාතික බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් සලේ ගේ ගුණ වයන්නේ ඒ නිසාය.
ජනපතිවරයා ඇතුළු ජාජබ ආණ්ඩුව ආරක්ෂක අමාත්‍යංශයට හා පොලීසියට අයාලේ යන්නට ඉඩ හැර බලා සිටි බව පසුගිය කාලයේ මේ ආයතනයන් තුළින් වාර්තා වන තොරතුරු වලින් සිතා ගත හැකිය. ජාතික බුද්ධි සේවාවේ ප්‍රාදේශීයව රාජකාරියේ නිරත බොහෝ දෙනෙකු දැන් සේවය කරමින් සිටින්නේ රාජපක්ෂලාටය. ඔවුන් හා පෞද්ගලිකව කතා බහ කරන විට එය එසේ බව අපට ඉතා පැහැදිලිව විනිශ්චයකට එළඹිය හැකිය. සමහර උන් කැට දමා කියන්නේ මේ අවුරුදු පහ යන්නට පෙර ආණ්ඩුවට කෙළවන බවය. ඒ බොහෝ දෙනෙකු සිතන්නේ මේ ආණ්ඩුව “අප්පට හැමිනිලා” යා යුතු විදියටය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නිකම්ම නිකම් විහිළුකාරයෙක් බවට වූ සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නේ මේ වටපිටාව තුළය. ජාජබ ආණ්ඩුව බලයට පත් වූ විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිතුවේ ආරක්ෂක අංශවල හා පොලීසියේ හැමදෙනාම “මාලිමා බණ” අසා සෝවාන් වී රහසින් වත් වරදක් නොවන ආකාරයට රාජකාරි කරනු ඇති බවටය. එහෙත් දැන් දැන් සිද්ධ වෙන හා සිදු වෙමින් පවතින සංවිධානාත්මක අපරාධ පිළිබඳව අවධානය යොමු කරන විට ආණ්ඩුව කෙතරම් ‘මොනිටසෝරිද” යන්න සිතා ගත හැකිය.
කරන්දෙණියෙ සුද්දා සිය සාහසික හපන්කමි පෙන්වමින් සිටින්නේ ආණ්ඩුවේ ඒ ලැජ්ජා නැති මොනිටසෝරි කමට පාඩමක් උගන්වමිනි. දෙකයි පනහේ පඟර නැට්ටෙක් බඳු අපත මදාවියෙකුට රටේ පුරවැසියන් ඝාතනය කරන්නට ඉඩ දී බලා සිටීම කෙතරම් ඛේදජනකද යන්න අමුතුවෙන් සිහිපත් කළ යුතු කාරණයක් නොවේ.
රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ජනපතිට කළ නොහැකි ද?
පසුගියදා මාධ්‍ය වාර්තා කෙරුවේ ජනපතිවරයා පකිස්ථාන අගමැතිවරයා හා දුරකථනයෙන් සාකච්ඡා කර ක්‍රිකට් අර්බුදයක් විසඳූ බවටය. එවැනි මැදිහත් වීමක් ජනපතිවරයාට කරන්නට හැකි වූයේ නම් මෙරට අපරාධ සිඳු කර ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් සිටින අපරාධ කරුවන් සම්බන්ධයෙන් ජනපතිවරයාට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු කිරීමට නොහැකි මන්ද යන ප්‍රශ්නය පුරවැසියන් තුළ මතුවේ. පුරවැසියන් එසේ සිතීමද සාධාරණය. මෙරට සිටින මුස්ලිම් ආගමික නායකයන් හරහාද ඒ මැදිහත්වීම කරන්ටද පුළුවන. ඩුබායි රාජ්‍යය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ අපරාධ කරුවන් පිළිබඳව කිසියම් වූ තීන්දුවකට එළඹීමට අපහසු නැත.
එහෙත් එය එසේ සිදු නොවීමට හේතු ගණනාවක්ද වේ. පොලීසියේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු මෙම අපරාධ කරුවන් හා ගණුදෙනු කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. මේ ගණුදෙනු කාර ජාවාරම් ගැන බුද්ධි සේවා වාර්තා කර ඇතත් ඒවා ජනපතිවරයාගේ අවධානයෙන් වසන් කරන්නේ ද?, එසේත් නැතහොත් ඒ ගැන ජනපතිවරයා සිල්ලරට සිතන්නේ ද යන්න පිළිබඳව සැකයක් රටට පවතී. ජනපතිවරයා සිතා සිටින්නේ මේ අපරාධ කරුවන් මතුයම් දිනක අපරාධ ක්‍රියාකාරකම් නවතා යහපත් පුරවැසියන් ලෙස “මාලිමාවරුන්” බවට පත් වනු ඇති බවට නම් අපට ඒ ගැන ලියන්නට ඇත්තේ අනේ පවි දෙයියනේ කියා විතරමය.
ආණ්ඩුවට ඇති හොඳම විකල්පය ජාතික හා අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත සංවිධානය වීමය. ඒ සංවිධාන ගත වීම ඉතා නිවැරිදි ස්ථානගත වීමක සිදු විය යුතුය. ජාතික බුද්ධි සේවා හා හමුදා බුද්ධි සේවාවන් අයාලේ යෑම නතර කිරීම මෙහිදී ඉතා අත්‍යවශ්‍ය වගකීමකි.
පාතාලයන්ගෙන් ආණ්ඩුවට කෝචොක්..
හමුදා බුද්ධි සේවාවෙන් දකුණේ බොහෝ අපරාධ කරුවන් හා සම්බන්ධකම් පවත්වන අයවළුන් ගැන අදාල අංශ වෙත වාර්තා සපයා තිබෙන බව අපට අනාවරණය වී තිබේ. එහිදී එම අපරාධකරුවන් ගේ දේපොළ සම්බන්ධයෙන් හා ඒවායේ හිමිකාරිත්වය පවතින්නේ කවර පුද්ගලයන් සතුවද යන්නත් සඳහන් කර ඇති බවද අපට වාර්තා විය. එවැනි අපරාධ සහායකයකු සම්බන්ධයෙන් යැවූ රහස්‍ය වාර්තාවක් ගැන කවරකු හෝ ප්‍රධානියකු විසින් එම අපරාධ සහායකයා ආපසු දැනුවත් කර ඇති බව අපට සිතා ගත හැක්කේ එම තැනැත්තා ඔහුගේ මුහුණු පොත් ගිණුමේ ඒ ගැන අභියෝග කර තිබුණ නිසාය.
“මගේ දේපොල ගැන ඔත්තු බැලුවාට උඹලා මට ලබ්බක් කරාවි” ඔහු සිය මුහුණු පොතෙහි ලියා තිබුණි.
මින් සිතා ගත හැක්කේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවන් හා ඔවුන්ගේ මෙරට හෙංචයින් ආණ්ඩුව අධෝවාතයක් තරමේවත් ගණන් නොගන්නා බවය. මේ හේතූන් නිසා මහත් දුෂ්කරතා මැද රාජකාරි කරමින් සිටින බුද්ධි නිළධාරීන් අතිශය කළකිරීමට ලක් වී සිටින බවද ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රධානීන් තේරුම් ගත යුතුය.
සැබෑවටම දැන් ආණ්ඩුව සිටින්නේ ආරක්ෂක අංශවල හා බුද්ධි සේවා වල තමන්ට හිතවත් කවුද යන්න පවා තේරුම්ගත නොහැකි විලම්භීත ආරූඪයකිනි. මේ ආරූඪය කෙළවර විය හැක්කේ අති විශාල ලේ වැගිරීමකින්ද විය හැකිය.
වැලිකඩ සිටිය යුතු පොලිස් ලොක්කන් වීරයිනට ඇඳීම…
ආණ්ඩුවේ මේ විලම්භීත ආරූඪය තුළ වඳ සැත්කම් නාටකයේ තිර පිටපත ලියු පොලිස් ලොක්කා තවම හුරතල් වෙමින් සිටී. ඔහු ඉතා කුමන්ත්‍රණකාරිව දකුණ පලාත රාජපක්ෂලාට ඕනෑ ආකාරයට බිම සකස් කරමින් සිටින බවට චෝදනා නැගෙන්නේ පොලීසිය තුළින්මය. පොලිස්පතිගේ ගජ මිතුරු පොලිස් සම්බන්ධතා නිසා ආණ්ඩුවට කෙල වෙන්නටද ඉඩ තිබේ. එසේ නැති නම් වඳ සැත්කම් නාටකයේ තිර පිටපත ලියු මේ පොලිස් ලොක්කා ජාජබ ආණ්ඩුව පිහිටවූ පළමු පැයේදීම සිටිය යුතු වන්නේ වැලිකඩය.
එහෙත් ජාජබ ආණ්ඩුවේ වීරයන්ට ඇඳ සිටින්නේ මෙවැනි දූෂිතයන්ය. මේ දූෂිතයන් දක්ෂ පොලිස් නිළධාරීන් බවට ජාජබ ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නම් පසුගිය ආණ්ඩුවලදී මේ තක්කඩියන් සිදු කරන ලද බරපතල අපරාධ වලට මුක්තිය ලබා දුන්නේද යන්නත් පුරවැසියන් වෙත පැහැදිලි කිරීමක් ආණ්ඩුව කළ යුතුය.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයා ගේ කොන්ද පණ නැති වීම තව දුර්වලතාවකි. පොලිස්පතිවරයා රාජකාරි කරන්නේ අමාත්‍යංශ ලේකම්වරයාගේ නියෝග පයිසෙකට ගනන් නොගනිමිනි. එයටද හේතුවක් තිබේ. පොලිස්පතිවරයා සිටින්නේ නීතිය හා සාමය ඇමති විජේපාලගේ ඔඩොක්කුවේය. විජේපාල, කරවිට පොලිස්පති හා වඳ සැත්කම් ජයලත් එකම කල්ලියකි. මේ කල්ලිය ශානි අබේසේකර හා රවි සෙනෙවිරත්න ගැන සිතන්නේ අවලංගු කාසි ලෙසය. මේ කල්ලි ගැසීම ගැන බුද්ධි සේවාවන් දනී. නීතිය හා සාමය ඇමති විජේපාල පිළිබදව ජනපතිවරයා තබා ඇති “දේව විශ්වාසය”නිසා බුද්ධි සේවා තොරතුරු යන්නේ කුණු කූඩයට යන්නේ දැයි සැකයකි. එහි වාසිය ඇත්තේ පොලිස්පතිවරයාටය.
ඔහු මේ වන විට රාජපක්ෂලාට හානියක් නොවන ආකාරයට සෙවල රාජකාරියක නිරතව සිටී. පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නේද පොදුජන පෙරමුණේ අවශ්‍යතාව පරිදිය.
තුට්ටු දෙකේ සූපිං කෑලි පොරවල් කිරීම

අප මේවා ලියන්නේ පස්ස කහනවාට නම් නොවේ. මේ තොරතුරු අපට ලැබෙන්නේද ඔත්තු සේවාවේ අභ්‍යන්තරයෙනි. ඔත්තු සේවාවල නිරත ජාජබයට පක්ෂපාතී බොහෝ නිළධාරීන් පවා දැන් සිටින්නේ තක්කු මුක්කු වෙලාය. ජාජබය යනු කෙළෙහි ගුණයක් නැති දේශපාලන සමූහයක් බවට රූපන්තරණය වී ඇති බව ඔවුන් ගේ සිතීමය.
කරන්දෙණිය සුද්දා වැනි තුට්ටු දෙකේ සූපිං කෑලිවල මෙලේච්ඡ සහාසිකත්වය යාවත්කාලීන වන්නේ ජාජබ ආණ්ඩුවේ මෙන්න මේ ඔල් මොරොන්දන් වැඩ නිසාය. අප දන්නා ආකාරයට ජනපතිවරයාට තවමත් ආරක්ෂක උපදේශකයෙක් නැත. අඩුම ගානේ ඒ සඳහා හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෝ පත් කර ගැනීම වරදක් නැත. එසේත් නැති නම් මෙරට ඒ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රවීනයයෝ බොහෝ වෙති.
ඔත්තු සේවාවල වල පවතින දුර්වලතාවන් ගැන ආණ්ඩුව වහා අවධානය යොමු කළ යුතුය යුතුය. පුරවැසියන්ගේ සිතීම වන්නේ කෙල වීමකින් පසුව පොර ටෝක් දෙන ඇමතිවරුන් ගැන නොව ඒ කෙලවීම වලක්වා ගැනීම සඳහා පියවර ගන්නා රාජ්‍ය පාලනයක් ගැනය.
කරන්දෙණිය සුද්දා විසින් මේ වන විට මෙරට පුරවැසියන් තිහකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කර තිබේ. ඒවා පිළිවෙළින් මෙසේය.
- කරන්දෙණිය ප්‍රදේශයේ හිත හොඳ දොස්තර ලෙස හැඳින්වූ දොස්තර ජයසිංහ ඝාතනය
- අම්බලන්ගොඩ කුලීගොඩ සුසා
- මහදම්පාගම ඉඩම්තොට එකම පවුලේ මව ,පියා හා කුඩා දරුවකු
- මීටියාගොඩ නගරයේ ව්‍යාපාරිකයකු වූ පළතුරු ප්‍රියන්ත
- වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේ ප්‍රධාන ජේලර් ජයරත්න
- අලුත්ගම තැඹිලි ව්‍යාපාරිකයකු
- අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ බෙනට් විජිත් සහ තවත් පුද්ගලයෙක්
- අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයකදී දනුෂ්ක හා සඳුන්.
- බළපිටිය මූලික රෝහල ඉදිරිපිටදී මදුර
- හික්කඩුව නගරයේදී කලුපෙ සුසන්ත හා ඉසුරු
- අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී අජිත් නැතහොත් චූටි මාමා
- අම්බලන්ගොඩ සුගත්සිරි
- ඇල්පිටිය පිටිගලදී පුද්ගලයන් දෙදෙනෙකු
- අම්බලන්ගොඩ කුලීගොඩ ගලගොඩ උදේෂ් සහ තවත් පුද්ගලයකු
- පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රන්
- ඇල්පිටිය කුරුදුගහ මහජන සෞඛ්‍ය පරීක්ෂක
- අම්බලන්ගොඩ ඌරවත්තේදී පුද්ගලයෙකු හා ඔහුගේ බිරිද
- බූස්ස දඩල්ල ලොක්කා
- හිනිදුමදී පුද්ගලයන් තිදෙනෙකු
- විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී සිරිදත් දම්මික
- හික්කඩුව,කුමාරකන්ද කීර්තිවංශ
- අහුංගල්ල ලොකු පැටීගේ මස්සිනා
- මෝල් අජිත්
- කොස්ගොඩ ලොකු
- හික්කඩුව ස්ටිකර් සජී හා තවත් තැනැත්තකු
- තෙල්වත්තේ කලුවා
- අම්බලන්ගොඩ මහදම්පාගම පොඩි සුද්දා
- අම්බලන්ගොඩ බටපොල කොබෙයිතුඩුව නුවන්
- කුරුදුගහ ,මන්ඩකන්ද කරුණාදාස
- මහදුර නලින්
- මහදුර නාලනී
- අම්බලන්ගොඩ හිරාන් කෝසල
- උනහකූරුව ශාන්ත ගේ මාමා හා නැන්දා
මේ කරන්දෙණිය සුද්දා සිදු කරන ලදැයි ලේඛන ගත වී ඇති ඝාතනයන් ය. එම ලේඛනයේ සඳහන් වන ප්‍රධාන ජේලර් ජයරත්න ඝාතනය කරන ලද්දේ බන්ධනාගාරයේ සේවය කරන ලද තවත් නිළධාරියෙකු ගෙන් ලද කොන්ත්‍රාතුවක් මත වන අතර අළුත්ගම තැඹිලි ව්‍යාපාරිකයා ඝාතනය කරන ලද්දේ හොරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් චුදිතයන් වී සිටි පොලීසියේ පිරිසකගේ අවශ්‍යතාවට බව අනාවරණය විය. එම තැඹිලි ව්‍යාපාරිකයා ඒ නඩුවේ ප්‍රධාන සාක්ෂි කාරයාය.
මෙතරම් මිනිස් ඝාතනයන් සිදු කරන ලද අපරාධකරුවකු සම්බන්ධයෙන් ආණ්ඩුව තව දුරටත් සිරිසඟබෝ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් පුරවැසියන්ට දෙවියන්ගේ පිහිටය. අපට ලැබී ඇති තොරතුරු වලට අනුව ජනපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත්තේ අපරාධකරුවන් මතුයම් දිනයක තමන් කළ වැරදි පිළිගෙන යහපත් පුරවැසියන් ලෙස සමාජයට අවතීර්ණ විය හැකි බව සිතා රාජකාරි කරන ලෙසටය.
ජනපතිවරයාගේ ඒ මානුෂික සිතීම තුළ සංකල්පීය ගැඹුරක් ඇති බව සැබෑය. මානුෂික රාජ්‍ය පාලකයෙකුගේ ප්‍රතිරූප ආදර්ශය එය විය හැකිය. එහෙත් මේ මෙලේච්ඡ අපරාධ කරුවන් “සිල්වත් මාලිමා උපාසක” මහත්වරුන් බවට රූපන්තරණය වීම දක්වා ගෙවී යන කාලය තුළ තව මිනිස් බිලි කීයක් ගනීද යන්න ගැන අපට ඇත්තේ බරපතල සැකයකි.







