වරක් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර කරඬුවද වඩම්මවමින් මහත් ගෞරවයට පාත්රවී ලංකාව තුළ ඉතා යහපත් රැකවරණයක ජීවත්වන තායිරාජා හෙවත් විජය රාජා හස්ථියා යම් අයුරකින් රටින් රැගෙන යෑමට ඕනෑම පාර්ශවයක් උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ඉදිරියට යන බව හිටපු දියවඩන නිලමේවරයෙක් වූ නිරන්ජන් විජේරත්න ලංකාසරට පැවසීය.
ඔහු මේ බව පවසන්නේ මුතුරාජා යළි තායින්තයට රැගෙන යෑම සම්බන්ධීකරණය කිරීම සඳහා ලංකාවට පැමිණ සිටින තායිලන්තයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ කන්චානා ශිල්පා, මීට වසර 34කට පෙර ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක් ලෙස තායිලන්තයේ ප්රතවි ලෙසින් හඳුන්වන තායිරාජා ගැන සොයා බැලීමට දළදා මාළිගාවට පැමිණිමත් සමග අන්තර්ජාතික මාධ්‍ය තුළ ඇති වී තිබෙන සංවාදයට පිළිතුරු දෙමිනි.
ඇය ප්‍රකාශ කර තිබුණේ තායිරාජා බැලීමට පැමිණි නමුත් ඇතා නොදන්නා ස්ථානයකට ගෙන ගොස් ඇති බැවින් තමන්ට හස්ථියා දැකගැනීමට නොහැකි වූ බවය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරතන් මෙසේ ද කීවේය.
“තායිරාජා හෙවත් විජයරාජා ලෙසින් හඳුන්වන ඇතා වරක් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර කරඩුවද වඩම්මා ඇති සත්ත්වයෙක්. මේ ඇතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබෙන්නේ 1986 පෙබරවාරි 24 වැනිදා. ඇතා ඊට පහුවෙනිදාම ශ්‍රී දළදා මාළිගාවට පුජා කරනු ලැබුවා.
එවකට දියවඩන නිලමේවරයා විදිහට හිටියෙ මම.
එදා සිට මේ දක්වා පශු වෛද්‍යවරුන් තුන් දෙනේකුගේ අධීක්ෂණය යටතෙයි ඇතා ඇතිදැඩි වුනේ. ඒ කීර්තිමත් පශු වෛද්‍යවරු තමයි නෙවිල් සිල්වා, මහාචාර්ය විජිත කුරුවිට සහ මහාචාර්ය අශෝක දංගොල්ල. දැන් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය බලන්නේ මහචාර්ය අශෝක දංගොල්ල. කළ හැකි හොඳම සාත්තු සප්පායම් කළා. රැක බලා ගත්තා. පෙරහරේ වඩම්මවනු ලැබුවා. හීලෑ ඇතෙක් වෙනුවෙන් කළ හැකි උපරිම සැලකිල්ල අපි තායිරාජාට කරලා තියනවා.
“ අනික් කාරණාව මාළිගාවට පිරිනමපු ඇතෙක් අලියෙක් කියන්නේ විශාල වගකීමක්. පන්සලකට පූජා කරන ඇතෙකුට වගේ ඒ ඇතාව ලඝු කරන්න බෑ. මේ සත්ත්වයා බුදුන්ට පූජා කළ කෙනෙක්. අපි තායිරාජාට කිසිම හානියක් නොකළ බවටත්, රාජ්‍ය ඒ සත්ත්වයා රාජ්‍ය තාන්ත්‍රික වස්තුවක් ලෙස රැක බලා ගත් බවටත් සාක්ෂි ඕන තරම් තියනවා.”
“ ඇතෙක් මද කිපුන අවස්ථාවන්වලදී සතාගේ තත්ත්වය සම්බන්ධව තීරණ ගන්න අයිතියක් අපට තියනවා. ඇතා මාළිගාවෙ නැති බව පවසමින් තායිරාජාට කෑම බීම නැති බවත්, හිංසා පීඩා කරන බවත් පවසමින් කවුරුන් හෝ ඇතාව නැවත තායිලන්තයට යැවීමට උත්සාහ කළහොත් මා වන්දි ඉල්ලා පුද්ගලික නඩුවක් ගොනු කරනවා.”
“ඒකට එකම හේතුව මෙතෙක් හොඳින් රැකබලා ගත් සත්ත්වයෙක් කුමණ හේතුවක් නිසා රටින් පිටුවහල් කිරීම අයුක්ති සහගත නිසා. ඉන් රටට විශාල අපකීර්තියක් නිර්මාණය වන නිසා. එවැනි අවස්ථාවක නීතිමය වශයෙන් මැදිහත් විය හැකි ප්‍රතිපාදන රටකට තියනවා. “
“මේ කරන්නේ ජනතාව අතර අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් බොරු සත්ත්ව හිංසනයක් පෙන්වීමයි.”
හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරත්න කීවේය.