වතුකරයේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වන්නට පෙර ප්‍රකාශයක් කරනු ඇතැයි කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පවසයි.
නුවරඑලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලය විවෘත කරමින් අමාත්‍යවරයා ඊයේ (07) මේ බව පැවසුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.
විදේශ ගත ශ්‍රමිකියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය යෙදී තිබුණ පසුගිය 18 වැනිදා කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත විය.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පැවසුවේ නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවය.
නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කළ බවද සිංහල පමණක් දන්නා අයගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් රටේ සිදුවන හැම දේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කවදාවත් සමාව ඉල්ලා නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.
සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය. දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.
ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍යවරයා කීවේය.
ඩොලර් බිලියන 6 සීමාව පසු කර යාමට අවශ්‍ය වන්නේ තවත් ඩොර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද අමාත්‍යවරයා කීය. මේ සදහා අවශ්‍ය ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදීත් තීන්දු තීරණගත් නිලධාරීන් අදත් සිටිමින් ඩොලර් මිලියන හයෙන් නතර කළ බවද මනුෂ නානායක්කාර මහතා කීවේය. ඒ සදහා ඔවුන් වගකිව යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.