අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකරන ප්‍රතිසංවිධාන රැසක් සමගින් වර්ෂ 2030 වන විට ඉංග්‍රීසි භාෂාව පාසල් අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට එක් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.
“සණස ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ අප කිරිවන්දෙණිය මහත්මයාට ස්තූතිවන්ත විය යුතුයි. එතුමා එය ආරම්භ කර ඉදිරියට ගෙන ගියා. අද එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපාරය තවත් දියුණු කළ යුතුයි. “
“විශේෂයෙන්ම මෙරට ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාර එක් කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.”
“මෙම දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රට නැවත ණය පාලනය කළ හැකි ස්ථාවරත්වයට පැමිණ තිබෙන බව ප්‍රකාශ කරන තුරු අප බලා සිටිනවා. අප එම සහතිකය ලැබු පමණින් සියලු ගැටල” විසඳෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ණය ගෙවීමට සහන පොළියක් ඉල්ලා සිටීමටයි. ඉන් පසුව එම ණය ගෙවිය යුතුයි. විශේෂයෙන් අපට අලුතින් ණය ගැනීමටත් සිදු වෙනවා.”
“මෙම කටයුතු කරගෙන යාමට අප රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ආර්ථිකය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළයුතුයි. මෙම වැඩකටයුතු සඳහා සණස ව්‍යාපාරය සම්බන්ධවීම විශාල රැකුලක් ලෙස සලකනවා. “
“අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු දේශපාලන ප්‍රතිපත්ති මාලා වෙනුවට සෑම විටම ක්‍රියා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය, මූලික කරගෙනයි.”
“රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය තුළින් සීග්‍ර ලෙස මුළු රටම සංවර්ධනය කිරීම සණස ව්‍යාපාරයේ වගේම රජයේ ද අරමුණ වෙනවා. මොකද අපට මෙම ණය උගුලෙන් බේරීමට නම් අප සීග්‍ර සංවර්ධනයකට යා යුතුයි. “
“ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමටයි. විශේෂයෙන්ම මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමෙන් පසු බොහෝ දෙනෙක්ගේ ජීවන මාර්ග අහිමි වුණා. ඇතැම් ව්‍යාපාර වසා දැමීමට සිදු වුණා. එදා සියළු දෙනා අසීරුවෙන් ජීවත් වුණේ. “
“දැන් අප යළිත් ආර්ථික දියුණුව ලබමින් සිටිනවා. කෘෂිකාර්මික කටුයුත ආරම්භ කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙමින් පවතිනවා. සංචාරක ව්‍යාපාරය තුළින් වැඩි රැකියා අවස්ථාවන් ලබා ගත හැකියි. එම නිසා අප සියළුදෙනා එකතු වෙලා මෙම ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි. “
“ඒ වගේම රටේ සෑම පුරවැසියෙකුටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබාදීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. අපි සියළු දෙනා එකට එක්ව ඉතා ඉවසීමෙන් එම ගමන යා යුතුයි. අපි වැටුණ තැනින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවම ගමන අවසන් කර නැහැ. ලබන ජනවාරි මාසයේ සිට ඉදිරි වසර කිහිපය පිළිබඳ අවධානය යොමු කරමින් අප ක්‍රියාත්මක විය යුතුයි. “
“අපේ රට එදා මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක් ලෙස පැවතුණා. නමුත් අප නැවත අඩු ආදායම්ලාභී රටක් බවට පත්ව තිබෙනවා. දැන් අපේ උත්සාහය නැවත පහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්වීම. ඊළඟ අදියරේදී ඉහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත්විය යුතුයි. ඉන් අනතුරුව ඉහළ ආදායම් ඇති රටක් බවට පත්වීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා තමයි 2048 වන තෙක් සැලසුම් සකස් කර තිබෙන්නේ. “
“ඒ වගේම අපේ රටේ අධ්‍යාපන අවස්ථා සීමා සහිතයි. ඒ නිසා බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙනවා. වෘත්තීය අධ්‍යාපනය සදහා විශාල ඉල්ලුමක් තිබුණට ඒ සියල්ල ලබාදීමට අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.”
“ඒ වගේම 2030 වන විට ඉංග්‍රීසි භාෂාව පාසල් අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට එක් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒවගේම වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම මෙම වසරේදී ආරම්භ කරනවා. “
“එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අපි ආරම්භ කරනවා. ඊට දායකවීමට සණස වැනි ආයතනවලට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා. එම නිසා මෙම කටයුතු සමග එක්ව වැඩකරමු කියලා මම සියළු දෙනාට ආරාධනා කරනවා. “