මේ රටේ ආර්ථික බිඳ දැමීමට දායක වූ දේශපාලනඥයින්, නිලධාරීන් ඇතුළු සියලු දෙනා එක්සත් ජනරජ පෙරමුණ යටතේ ආර්ථික අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන බව එම පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මේ රටේ පවුල් ලක්ෂ 65 ක් පාරට ඇද දැමූ ආර්ථික ඝාතකයින්ට දඬුවම් නැද්ද යන ප්‍රශ්නය පැන නැගී තිබෙන බව ඔහු කීය. මහනුවර සහස් උයනේ දී අද ( 23 ) පැවැති පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුවේ දී චම්පික රණවක මේ බව ප්‍රකාශ කළේය.
බිඳ වැටී තිබෙන රට වසර තුනක දී ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සඳහා වන වැඩපිළිවෙළ එක්සත් ජනරජ පෙරමුණ සතු යැයි ද හෙතෙම පැවසුවේය. රටට ඖෂධ වර්ග 15000 ක් පමණ ආනයනය කරන බවත් මේවා අතරින් තුනෙන් එකක් පමණ අත්‍යවශ්‍යය ඒවා නොවන බවත් කී චම්පික රණවක ඉන් තවත් තුනෙන් එකක් රට තුළ නිෂ්පාදනය කළ හැකි යැයි ද අවධාරණය කළේය.
අත්‍යවශ්‍යය හා අත්‍යවශ්‍යය නොවන ඖෂධ පැහැදිලිව වෙන්කර හඳුනා ගත යුතු බවත් රටේ නිෂ්පානය කළ හැකි ඖෂධ වලින් කොටසක් හෝ රට තුළ නිෂ්පාදනය කිරීමට අවධානය යොමුවිය යුතු බවත් ඔහු කීය.
මේ රටේ ආර්ථිකය විනාශ කිරීමේ මහ මොළකරු මහින්ද රාජපක්ෂ බවත් විපක්ෂයේ සිටින ඇතැම් අය ඒ නම කියන්නටත් බය බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
පියා ගෙන් පුතාට, දුවට හෝ බිරිඳට නැත්නම් බෑණාට යන දේශපාලන ක්‍රමයට නැවතීමේ තිත තැබිය යුතු බවද චම්පික රණවක මන්ත්‍රීවරයා පැවසුවේය.
කාල්මාක්ස්, ලෙනින්, ඒංගලස් ඉදිරියට දමාගෙන දේශපාලනය කරන කණ්ඩායම් වලට රට ගොඩගත නොහැකි බවත් කස්ත්‍රෝ හැදූ රට අද හිඟමනේ බවත් කී චම්පික රණවක කස්ත්‍රෝ ගේ දියණියත් රටින් පැන ගොස් ඇතැයි ද අවධාරණය කළේය.
මේ අය නිර්මාණශීලීත්වයට වැට බැඳ පක්ෂයට හිතවත් අය පමණක් ඉදිරියට ගන්නා බවත් විප්ලවයට පෙර රුසියාවේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්, විද්‍යාඥයින් සිටියත් විප්ලවයෙන් පසු එවැන්නන් බිහි නොවුණු බව ද හෙතෙම කීවේය.