සුජිත් හේවාජුලිගේ -ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි ප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත (ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක් ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා වියදම ජනතාව මත පනවන බදු මගින් උපයා ගන්නා බව ප්‍රකාශ කර එසේ අසීමිත බදු අය කරන අතරේම මේ ආකාරයට කෙටි කලක් තුළ විශාල ණය මුදලක් ලබා ගැනීම ප්‍රහේලිකාවක් බව පවසන මහාචාර්යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා විවිධ ක්‍රම මඟින් රටට ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ යැයි පෙන්වා දෙයි.
වසරේ මුල් මාස එකහමාර තුළ ලබාගෙන ඇති මෙම ණය මුදලින් රුපියල් කෝටි 81,274ක් ( බිලියන 812) ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් මගිනි. ඉතිරි කෝටි 22103 (බිලියන 221) භාණ්ඩාගාර බැඳුම්කර වලින් ලබාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
සමහර බිල්පත්වලින් පළමු අදියර යටතේ කෝටි 57,112 ද දෙවැනි අදියර යටතේ කෝටි 24161ක්ද ලබාගෙන ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී පෙනීයන්නේ යැයි පවසන මහාචාර්යවරයා රජය ජනතාව මත විශාල බදු බරක් පටවමින් ආදායම වැඩි කර ගන්නා අතරේම දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ඉහළ පොළී අනුපාත යටතේ තවදුරටත් ණය ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ ආකාරයට රජයේ පිස්කල් ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඉරිදා ලංකාදීප –