ලිංගික අතරවරයක් කිරීමට ගිය ත්‍රී රෝද රථ රියදුරෙකුගේ ජඩ හැසිරීම සජීවීව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ විකාශය කරන බවට අනතුරු අඟවා ඒ අපරාධය වළක්වා ගැනීමට හැකි වූ කැනේඩියානු ජාතික 19 හැවිරිදි සරසවි සිසුවියක් තමන් මහත් වූ ආදරෙයෙන් හා භක්තියෙන් පැමිණි ශ්‍රී ලංකාව තුළ තමන් මේ මොහොත ගත කරන්නේ බෙහෙවින්ම තැති ගැනීමෙන් බව ලංකාසර අමතා ප්‍රකාශ කළාය.
ජෙනියේව් ටලෙක් (Guenievre Talec ) නැමැති මේ තරුණිය අහංගම ප්‍රදේශයේ රාත්‍රී භෝජනයකට හා සාදයකට සහභාගී ඊයේ (08) අළුයම 2.30ට පමණ ඇය ත්‍රී රෝද රථයක් ගෙන ඇත්තේ තමන් රැඳී සිටි වැලිගම සංචාරක හෝටලය වෙත ගමන් කිරීම සඳහාය.
ඒ යන අතරතුර අඳුරු තැනක ත්‍රීවිල් රථය නරත කළ රියදුරා ඇයට ලිංගික අතරවරයක් කිරීමට උත්සාහ කිරීමේ දී සජීවීවව සිද්ධිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලාවේ මේ මොහොතේ සිට විකාශය වන බැවින් වහාම වැලිගම හෝටලයට තමන් ඇරලවන ලෙස ඇය ප්‍රකාශකරන අතර සිද්ධියේ කොටසක් වීඩියෝ කරගැනීමට සමත් වී ඇත.
මේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් අදාළ හෝටල් කළමනාකාරිත්වය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කරන්නට ගිය ප්‍රකාශයෙන් රටට සිදුවන්නට ගිය හානිය වළක්වා ගැනීමට තමන්ට දැඩි ආයාසයක් දැරීමට සිදු වූ බවය.
සිද්ධියෙන් පසු තරුණිය හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණ දැඩි තැතිගැනීමකින් සිටි බවත් මේ සංචාරයේ අරමුණ ස්වකීය අධ්‍යයන කටයුත්තක් බැවින් තවත් දින කීපයක් රැඳී සිටීමට සිදුවන නිසා ආරක්ෂාව පිළිබඳ ඇති සැකය හේතුවෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීම සම්බන්ධව විශ්වාසයක් නැති බව දැන්වූ බවත් හෝටල් කළමණාකාරිත්වය අප සමග පැවසුවේය.
පොලිසියට වාර්තා නොවන මෙවැනි සිද්ධි සුලභ බව පවසන ඔවුන් මේ රටේ අභිප්‍රාය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය හරහා විදේශ විනිමය උපයා ගැනීම නම් ඒ සම්බන්ධව සැණකෙළි පැවැත්වීමට වඩා සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගත් නීති පද්ධතිය දැඩි කර අභ්‍යන්තර විනය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවය.
මේ වනවිට පසුගිය දින දෙක තුළ සංචාරකයින්ට එරෙහි බරපතල අපරාධ 03ක් පොලිසියට වාර්තා වී ඇත. අද රුසියානු ජාතික කාන්තාවකගේ මළ සිරුරක් හික්කඩුව මොලපු ඔයේ තොටගමුව පාළම අසලින් ඊයේ (08) හමුවී තිබූ අතර පොලිසිය සැකකරන්නේ ඒ පසුපස අපරාධයක් සිදුවී ඇති බවය.
මෙම කාන්තාව මාස තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ නවාතැන් ගෙන සිටි කාන්තාවකි.

පෙරේදා (07) චෙක් ජාතික කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අනුරාධපුරයේ සිට සීගිරිය බලා යද්දී සිය බෑගයේ තිබූ යුරෝ 480ක් සමග මුදල් පසුම්බිය සොරකම් කරගෙන ගොස් ඇති බවය.
මිදිගම වෙරළේ නාන ඇඳුමින් සැරසී විවේකීව සිටි රුසියානු ජාතික 26 හැවිරිදි තරුණයෙකුගේ පසෙක තබා තිබූ කලිසම ඩොලර් 600ක් සහ වටිනා ජංගම දුරකථනයක් සමග ඊයේ (08) සොරාකම් කරගෙන ගොස් ඇත.
සංචාරකයින්ට එරෙහි අපරාධ සම්බන්ධව දැඩි නීති පද්ධතියක් සම්පාදනය කර රටේ විනය ආරක්ෂා නොකරන්නේ නම් සංචාරක ව්‍යාපාරයේ ඉදිරි අනාගතය බෙහෙවින්ම අස්ථාවර වනු ඇති බවට අප කළ විමසුමක දී සංචාරක ක්ෂේත්රයේ නිරත ව්‍යාපාරික ප්‍රජාව පැවසූහ.







