අතුරලියේ රතන හිමියන්ගේ සහ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ දේශපාලන පක්ෂය වන අපේ ජන බල පකෂයේ සාභාපති සමන් පෙරේරා පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාලව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද(24) තංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට එරෙහි සාක්ෂි කාරයෙක් වීම නිසා පසුගිය ජූනි 05 වැනිදා තංගල්ල මොරකැටිආර ප්‍රදෙශයේ දී ඝාතනය කරන ලද පුද්ගලයාගේ ඝාතනය සිද්ධිය හා සම්බන්ධවූ තැනැත්තෙකුට පොලිසියෙන් සැඟවී සිටීමට අවශ්‍ය රැකවරණය සැපයීම සම්බන්ධව අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පිළිබඳ විශේෂ විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර තිබිණි.
සමන් පෙරේරා වෙත පොලිසියේ විශේෂ අවධානය යොමු වන්නේ තංගල්ලේ දී මත්කුඩු ජාවාරම් කාරයන්ට එරෙහි ඔත්තු කරුවා මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයූ තැනැත්තා පසුගිය ජූනි මස 19 දා තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ය.
අත්අඩංගුවට පත්වන පුද්ගලයා අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග වැදුනු තැනැත්තෙක් යැයි අනාවරණය විය.
ඝාතන සිද්ධිය ගැන විමර්ශනය කරන පොලිසිය ඔහු ගැන සොයමින් සිටියදී ඔහු සැඟවී සිට ඇත්තේ කුරුණෑගල සමන් පෙරේරාගේ නිවසේ බවත් හෙළි වී තිබේ.
මේ තොරතුරු ඔස්සේ සමන් පෙරේරා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඔහුට මින් පෙරත් අපරාධ චෝදනා ගොනු වී ඇති බව පොලිසිය පැවසුවේය.
සමන් පෙරේරා අද (24) තංගල්ලේ දී අත්අඩංගුවට ගැනුණි. වැඩිදුර විමර්ශන පැවැත්වෙමින් ඇත.