චෝදනාවට ලක් වී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධනගේ නම් නව කැබිනට් මණ්ඩලයට යෝජනා වුවද ඔවුන් සම්බන්ධව පොහොට්ටුව තුළීන්ම මතුවූ විරෝධතා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාත් දෙගිඩියාවකින් පසුවෙද්දී ඔවුන් දෙදෙනාට කැබිනට් ඇමති තනතුරු ලබා දීමට නාමල් රාජපක්ෂ පුද්ගලිකව දැඩි බලපෑම් එල්ලකරීමින් හැසිරෙන ආකාරය සම්බන්ධව ආණ්ඩුව තුළින්ම අප්‍රසාදයක් මතු වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
එම ආරංචි මාර්ගවලට අනුව අනාගත අපේක්ෂාවන් සහිතව නාමල් රාජපක්ෂ මෙවර කැබිනට් මණ්ඩලයට පැමිණීම වැලකී ගිය ද ඔහු ජොන්ස්ටන් සහ රෝහිතට ඇමතිකම් ලබා දීම සඳහා දැඩිව ඉදිරිපත් වී ඇත්තේ පොහොට්ටුව අභ්‍යන්තරයේම මෙම පුද්ගලයින් දෙදෙනාට එරෙහිව විරෝධයක් මතුවෙමින් ඇති අවස්ථාවක බව පැවසේ.
ජනාධිපතිවරයා විදෙස්ගත වීමට පෙර නාමල් රාජපක්ෂ කැබිනට් මණ්ඩයට මේ දෙදෙනා ඇතුළු කරගන්නා ලෙස ඉල්ලීමක් කර තිබුණු බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට උත්තරයක් ලබා දී නැත. එහෙත් මේ වනවිට ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ ඍජුවම මැදිහත් වීම පොහොට්ටුව තුළත් යම් අර්බුදයක් ඇති කර ඇතැයි වාර්තා වේ.
විදේශගතව සිටින ජනාධිපතිවරයා 21 වැනිදා ලංකාවට පැමිණ කැබිනට් මණ්ඩලය පත්කිරීම සම්බන්ධව අවසන් තීරණය ගන්නට නියමිතව ඇත.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට මේ තරම් ප්‍රමාද වන්නේත් මේ ගැටුම නිසා බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.







