අනුරාධපුර ඓතිහාසික ජේතවන ස්තූප පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය පෙරේදා (07) පෙරවරුවේ බැකෝ යන්ත්‍රයක් යොදා හාරා පස් ඉවත් කිරීමත් සමග බරපතල ආන්දෝලනයක් ඇති වී තිබිණි.
ස්තූපයේ උතුරු දොරටුව ආසන්නයේ මෙම ගල් ඇල්ලීමේ ව්‍යාපෘතිය ජේතවන විහාරයේ නායක හිමයන්ගේ ඉල්ලීම ප්‍රකාරව අමාත්‍යාංශ මට්ටමේ මැදිහත් වීමකින් සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.
ගෞතම බුදුන් වහන්සේගේ පටී ධාතූන් වහන්සේ තැන්පත් කර ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේදී මහසෙන් මහරජතුමන් ඉදිකරන ලද ජේතවන ස්තූපය ගඩොලින් නිර්මාණය කරන ලද ලෝකයේ විශාලතම ස්මාරකය වශයෙන් හැඳින්වෙන අතර ලෝක උරුම ස්ථානයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති උරුම ස්ථානයකි.
මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවත්වන ලද්දේද ජේතවන ස්තූපය ඇතුළු ආරාම සංකීර්ණය පිහිටි මෙම නන්දන උයනේ දී බව වංශ කතාවලින් අනාවරණය වී තිබේ.
මේ පිළිබඳව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ ඉන්ටර්ලොක් ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සහ මධ්‍යම සංස්කෘතික අරමුදලින් අනුමැතිය ලබා දී ඇති බවය.
එහි දී එම භූමියේ පස් තුනී කිරීමක් ඩොසර් දමා සිදු කර ඇති මුත් කැණිමක් සිදු වී නැති බවත්, පුරාවස්තුවලට හානි වී නැති බවත් ගුරුපැහැති මැටි ගාඩොලක් අල්ලන බැවින් භූ දර්ශනයට හානියක් නොවෙන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.