ලලිත් චාමින්ද –
සුරාබදු දෙපාර්තමේන්තුවට හිග බදු මුදල් වශයෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 09කින් රුපියල් හයසිය විසි දෙකෝටි, දාහත් ලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය හතලිස් අටයි ශත තිස් එකක (6,221,772,348.31) මුදලක් අයවිමට ඇතිබැව් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු නවතම වාර්තාවක සඳහන් වේ.
මෙම වර්ෂයේ ජුනි මස 15 වැනි දිනට මෙම මත්පැන් නිෂ්පාදන සමාගම් මගින් අයකරගතයුතු හිඟ බදු මුදල ලෙස රුපියල් බිලියන 06කට අධික මෙම මුදල බව වාර්තා වේ.
මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හරිනු ලබු බදු මුදල රුපියල් දෙසිය හතලිස් හතර කෝටි, හෑත්තෑ දෙලක්ෂ, හතලිස් පන්දහස්, තුන්සිය දහනමයයි, ශත අසු නමයකි (2,447,245,319.89 )කි. ප්‍රමාද ගාස්තු මුදල රුපියල් තුන්සිය හැත්තෑ හත් කෝටි, හතලිස්පන් ලක්ෂ, විසි හත් දහස් විසි අටයි ශත හතලිස් දෙකකි. (3,774,527,028.42 )
එක්තරා මත්පැන් නිෂ්පාදන සමාගමක් විසින් වසර පහක කාලයක සිට (2019-2023) සිට පැහැර හැර ඇති බදු මුදල රුපියල් එකසිය හැත්තෑ තුන් කෝටි, තුන් ලක්ෂ, පනස් හතර දහස්, තුන්සිය තිස් අටයි ශත හැත්තෑ එකක් (1,730,354,338.71) බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
සුරාබදු දේපාර්තමේන්තුවේ පවතින යල්පැන ගිය ක්‍රමවේදයක් හා අභ්‍යයන්තරව පවත්නා අසංවිධිත ක්‍රමවේදයන් හේතුවෙන් රාජ්‍ය ආදායම එකතුවිය යුතු විශාල බදු මුදලක් අහිමිවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ
මහාපරිමාණ මත්පැන් නිෂ්පාදකයන්ගෙන් රජට ලැබිය යුතු බදු ආදායම නියමිත පරිදි ලැබෙනවාද යන්න පිළිබද විමර්ශනය කිරීම සදහා හා බදු පැහැර හරින්නන් පිළිබඳ කටයුතු කිරිමට හැකිවනු පිණිස ඉහළ බල අධිකාරියක් සහිත කමිටුවක් පත් කළ යුතු බවට මෙකි ආංශික අධික්ෂණ කාරක සභාව විසින් නිර්දේශකොට ඇත.
එමෙන්ම බදු පැහැර හරිනු ලබන නිෂ්පාදකයින්ගේ බලපත්‍ර අහෝසි කිරීම සඳහා අවශ්‍ය බලය ලබාදෙන සුරාබදු පනත සංශෝධනය කළ යුතු බවද මෙම කාරකසභාව මගින් නිර්දේශකොට ඇත.
එමෙන්ම මත්පැන් බෝතලය නිත්‍යානුකූලද නැද්ද යන්න තහවුරු කරගැනීම සඳහා අලවනු ලබන ස්ටිකරය ව්‍යාජ එකක්ද යන්න පරික්ෂා කිරිමට උපකරණ 200ක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදි ඇත.
එම උපකරණ ඒ සඳහා භාවිතයට නොගන්නා බවට නිරික්ෂණය වු බවද මෙකී කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ