මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් දිය නෑම සඳහා මහවැලි ගඟට බැස, සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ගල් පරයක් මත ජීවිතයත් මරණයත් අතර අවදානමක සිටි උසස්පෙළ පාසල් සිසුවා මහනුවර ගිනි නිවීම් ඒකයය, පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු බේරාගෙන ඇත.
උසස් පෙළ පාසල් සිසුන් දෙදෙනෙක් අද (19) පස්වරු 3.00 ට පමණ දිය නෑම සඳහා ගල් පර්වත වලින් ගහන හක්කිඳ දූපත් සමූහය ආසන්නයට ගොස් දියට බැස ඇත. ගල් පර මතින් ඇවිද සිසුන් දෙදෙනා ගඟ මැදට ගිය අවස්ථාවේ දී එක් වරම මහවැලි ගඟේ ජල පහර වැඩි වී ඇත.
මේ බලාපොරොත්තු නොවූ තත්ත්වය නිසා එක්වරම සිසුවෙක් දියේ ගසාගෙන ගොස් අතුරුදහන් වී තිබේ. අනෙක් සිසුවා ගඟ මැද වූ ගලක් මතට නැග එය දැඩිව ග්‍රහණය කරගෙන බේරී සිටියදී අවට පිරිස සිද්ධිය පොලීසියට දැනුම් දී තිබේ.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය,ගිනි නිවීම් ඒකකය හා යුද හමුදාව කිමිඳුම් කරුවන් පිරිසකගේ සහය ලබා ගනිමින් කඹ ආධාරයෙන් අදාළ සිසුවා බේරා ගැනීමට සමත්ව ඇත.
මහනුවර ගිනි නිවීම් ඒකකයේ දිනේෂ් හේරත් ඇතුළු කණ්ඩායමක් මෙහිදී දැඩි අවදානමක් ගෙන සිසුවාගේ දිවි බේරා ගැනීමට කටයුතු කර තිබේ.
දිවි බේරාගත් සිසුවා පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.







