රටතුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන කඩා වැටීමේ ලකුණු පහළ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.
මේ වන විට රටේ පවතින ඉන්ධන අර්බුදය, ඉන්ධන සීමා කිරිම හේතුවෙන් ද එන්නත් මධ්‍යස්ථානයන් වෙත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට යාමට නොහැකි වී ඇති බැවින් එන්නත්කරන වැඩසටහනේ ගැටළු මතුවිය හැකි බව සංගමයේ සභාපති උපුල්රෝහණ කියයි.
ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව කරගෙන යාම හේතුවෙන් අප රට සෞඛ්‍ය ක්ෂේත්රයේ ජයග්‍රහණ රැසක් ළගා කර ගත් බවත් මේ වන විට එම ජයග්‍රහණ ගිලිහෙමින් පැවතීමේ අවදානමක් මතුව ඇති බවත් හෙතෙම පැවසීය.
මේ වන විට ලෝකයේ ඇතැම් රටවල් වල පවතින වසංගත රෝගයන් අප රට මුළුමනින්ම තුරන් කර තිබියදී ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අකර්මන්‍ය වීමෙන් නැවත එම වසංගත රෝගයන් පැමිණීමේ අවදානමක් මතුවිය හැකි බවද ඔහු කියයි.
එසේම ක්ෂේත්‍ර පරික්ෂාවන්ට යෑමට නොහැකි වීම හේතුවෙන් ඩෙංගු, මැලේරියා, බරවා, ජලභීතිකා වැනි රෝග ගණනාවක්ම නැවත රටපුරා ව්‍යාප්ත විය හැකි බවද උපුල් රෝහණ කියයි.







