පාකිස්ථානයේ අයිඑස්අයි සංවිධානය ව්‍යාජ මුදල් බංගලාදේශය හරහා ඉන්දියාවට යවනු ලබන ජාලය මැඩ පවත්වන්නට ඉන්දීය විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) හා බංගලාදේශ නිළධාරීන් එක්ව කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රට තුළ ව්‍යාජ ඉන්දියානු මුදල් නෝට්ටු ජාලය නිරීක්ෂණය කිරීමට හා මැඩ පැවැත්වීමට ඉන්දියාව හා බංග්ලාදේශය ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටිති.
ඉන්දියානු දේශ සීමාව තුළට ව්‍යාජ මුදල් ඇතුල් කිරීම සඳහා පාකිස්ථානු බුද්ධි අංශය අයිඑස්අයි හා කටයුතු කරන බවට මෑතකදී බංග්ලාදේශයෙන් හමුවූ ව්‍යාජ නෝට්ටු ඔස්සේ තොරතුරු හෙළි වී තිබේ. අයිඑස්අයි වලට අමතරව සමහර අන්තර්ජාතික අපරාධ කල්ලි ද මෙම ජාවාරම හා සම්බන්ධව කටයුතු කරන බව බංග්ලාදේශ ලයිව් නිව්ස් වාර්තා කරයි.
2021 නොවැම්බර් මාසයේදී ධකා පොලීසිය විසින් ෆාතිමා අක්තර් හා ෂෙයික් එම්ඩී නැමැති බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව කෝටි 7.35ක වටිනාකමින් යුතු ඉන්දීය ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් තිබී ඇත. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මේ මුදල් තොගය බංග්ලාදේශ ජාල හරහා ඉන්දියාවට යැවීමයි.
2022 පෙබරවාරි මාසයේදීත් ධකා පොලීසිය ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු සහිත බෑගයක් සොයා ගත් අතර පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. බංග්ලාදේශ ලයිව් නිව්ස් වාර්තාවලට අනුව පාකිස්ථාන අයිඑස්අයි සංවිධානය මෙහෙයවන මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාලය සමඟ බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් හතක් සම්බන්ධ වී තිබේ. විමර්ශනයන්ට අනුව අත්අඩංගුවට ගත් තැනැත්තන් මෙම ජාලයේ කොටස්කරුවන් ය.
සිදු කළ විමර්ශනයන්ට අනුව ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු පාකිස්ථානයේ දී මුද්‍රණය කොට ඒවා නීතිවිරෝධී ආකාරයෙන් නේපාල හෝ බංග්ලාදේශ සීමා හරහා සෘජුවම ඉන්දියාවට එවනු ලබයි. එසේ නැතහොත් ඩුබායි, බැන්කොක්, හොන්ග් කොන්ග් හා කොළඹ මාර්ග හරහා ඉන්දියාවට එවයි.
අයිඑස්අයි විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාලය අන්තර්ජාතික අවධානයට ලක් වූයේ 2011 වසරේදීය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන උපාය මාර්ග වාර්තාව මඟින් පාකිස්ථානයේ මුද්‍රිත ව්‍යාජ මුදල් නොට්ටු ඉන්දියාවට පැමිණීම තහවුරු කරන ලදී. ත්‍රස්තවාදී හා අපරාධ ජාලයන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා මෙම මුදල් භාවිතා කළ බව ද එමඟින් සනාථ වී ඇත.