ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකු සහ ඔවුන්ගේ නියෝජිතයන්ට කොළඹ ලිප්ටන් වටරවුම ඇතුළු රෝහල් චතුරස්‍ර කළාපයට ඇතුලුවීම, එම ප්‍රදේශයේ පදිකාවේදිකා අවහිර කිරමින් උද්ඝෝෂණය කිරීම, පෙළපාලි කිරීම වළක්වාලමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබේ.
ජාතික රෝහල, ඇස් රෝහල, හෘද රෝහල, මරදාන ප්‍රධාන රෝහල් චතුරශ්‍රයන් හි කටයුතුවලට බාධා වන අයුරින් ඒ ආශ්‍රිත ප්‍රදේශවලට උද්ඝෝෂකයින්ට ඇතුලුවීම වළක්වාලමින් මාළිගාකන්ද අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.
එමෙන්ම ලිප්ටන් වටරවුමේ සිට ඩීන්ස් පාර, සීමන්ස් පාර හන්දිය දක්වා ඇති මහාමාර්ගය සහ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි සිදු කිරීම ද තහනම් කර ඇත.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ නියෝග කර තිබුණේ මෙම උද්ඝෝෂකයන්ට ජනාධිපති මන්දිරය සහ කාර්යාලය මුදල් අමාත්‍යාංශය මෙන්ම ගාලු මුවදොරට පෙළපාලිවලින් ඇතුලුවීම තහනම් බවය.
කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බව මෙම නියෝගවල දැක්වේ.







